My followers

Tuesday, 18 October 2011

පුඩිමක් හදන අලුත්ම විදියෙ රෙසිපියක්


"මාරයාගේ හෝරාව" මාර සරණිය කියල, කෑම හදන හැටි කියල දෙනව. "කතන්දර" බ්ලොග් එකෙත් ලඟදි කෑම ජාති කීපයක් හදන හැටි කියල දුන්න. මාත් කල්පනා කලා, කාලෙකට ඉස්සෙල්ල ඉගෙනගත්ත, පුඩිමක් හදන අලුත්ම විදියෙ රෙසිපියක් ඉදිරිපත් කරන්න.

අපේ අසල්වැසියො  කට්ටියක් එකතු වෙලා, පෝය දවසෙ පංසලේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලට, වෙනදට වඩා සුපිරි විදියට දානයක් පිරිනමන්න තීරණය කළා. හැම ගෙදරින්ම වගේ දානයේ වගකීම භාර ගත්ත. ඒ කියන්නෙ බත් ජාති කීපයක්, මාළු පිනි, අතුරුපස විතරක් නෙමේ, පිරිකර පවා එක එක ගෙදරින් භාරගත්ත. මම අඳුනන එක ගෙදරකින් භාර අරන් තිබුනෙ අතුරුපස සඳහා පුඩිමක්. දැන් ඔය පිරිකර ඇරෙන්න අනිත් හැම ජාතියක්ම ස්වාමීන් වහන්සේලට විතරක් නෙමේ දානෙට සම්භන්ද වෙන ඔක්කොටම ඇති වෙන්න පිළියෙළ කරන්න ඕනෙ. පුඩිම භාර ගත්ත ගෙදර නෝන මහත්තය කට්ටියටම ඇතිවෙන්න ලොකු පුඩිමක් කලින් දවසෙ හවසම හදල, ෆ්‍රිජ් එකේ දාල තිබ්බ. මේ පුඩිම හදපු රෙසිපිය මට කිව්වෙ, පුඩිම හදපු නෝනගෙ, මහත්තය.

දානෙ දවසෙ පුඩිමත් අරන් පන්සල් යන්න දෙන්න දෙමහල්ලො ලෑස්ති වුනා. දන්නවනෙ ඉතින්, යන්නෙ පන්සල් වුනත් කාන්තා පාර්ශවේට ගෙයින් එලියට බහින්න ලෑස්තිවෙන්න ගතවෙන කාලය, පුරුෂ පක්ෂෙට වඩා ටිකක් වැඩිය් කියල. මේ ගෙදරත් ඉතින් වෙනසක් නැහැ. මහත්තය කලිසමක්, කමිසයක් ඇඳගෙන රෙඩි වෙලා නෝන ලෑස්ති වෙලා එනකන්, මොකටද නිකරුනේ කාලෙ නාස්ති කරන්නෙ කියල, පත්තරේ දිග ඇරගත්ත. ඔය අතරෙ නෝන මහත්තය ලෑස්ති වෙලා ඇවිල්ල කලින් දවසෙ ෆ්‍රිජ් එකේ දැම්ම පුඩිම එලියට අරගන්නව, පත්තරේ බලමින් හිටියත් මහත්තයට දැනුන. සුළු වෙලාවක් නිශ්ශබ්දතාවයෙන් ගත වුනා. ඊට පස්සේ නෝන මහත්තය කා එක්කද ටෙලිෆෝන් සාකච්චාවක් පටන් ගත්ත. පන්සලට යන්න තව කාල වෙලාව ඇතිවෙන්න තිබුන නිසා මහත්තය ඒ ගැන වැඩිය කලබල වුනේ නැහැ.

පත්තරේ කියෝන මහත්තයට ඇහෙන්නෙ සාකච්චාවෙ එක පැත්තක් විතරය්. ඒත් තේරෙනව, නෝනගෙ සාකච්චාව යන්නෙ අසල්වැසි නෝන කෙනෙක් එක්ක කියලත්, කතා වෙන්නෙ වැරදිච්ච පුඩිමක් ගැන කියලත්, නෝනල දෙන්න හොයන්නෙ වැරදුනේ කොතනද, ඒක නිවැරදි කරන්න විදියක් තියෙනවද, ආදී කරුණු කියල. එක අවස්තාවක නෝන කියන්න පටන් ගත්ත, පුඩිම හදනකොට ඒකට පාවිච්චි කල දේවල්. මහත්තය සූප සාස්තරේ ගැන වැඩි යමක් දන්නෙ නැති වුනාට, පොරට තේරුනා නෝන පුඩිමට අත්‍යාවශ්‍යම අමු ද්‍රව්‍යයක් අමතක කරල කියල.

මේ යකාටත් කට පියාගෙන ඉන්න බැරි ලෙඩක් තියෙනවද කොහෙද. මෝඩය වගේ අහපි "ඉතින් ඕකට බිත්තර දැම්මෙ නැද්ද" කියල.

Wednesday, 12 October 2011

ඇණේ

චිත්‍රය ඇන්දේ සහ කතාව ලිව්වේ, 
"මට හිතෙන හැටි" සහ "HeyDude " (ඉංග්‍රීසි) බ්ලොග් ලියන, හෙන්රි බ්ලොග් වෝකර් විසිනි.
කොමෙන්ට් සඳහා පිළිතුරු ලිවීම අවශ්‍ය වූ විට, එය හෙන්රි විසින්ම ඉටු කරනු ඇත.
 
කෘතිම සිංචනයේ වාසි ගැන බර තාක්ෂනික වචන යොදාගෙන දීර්ඝ විස්තරයක් කරපු පශු වෛද්‍යවරයා, "මොකුත් ප්‍රශ්න හෙම තියෙනවද?" කියලා ඇහුවා. ප්‍රශ්නදත් අහනවා. ඒ මුලු දේශනාවම ඒක අහගෙන හිටපු ගැමි කිරි ගොවියන්ට ප්‍රශ්නයක් තමයි. එතකොටම කිරිහොඳා නැගිටලා,
"සර්, අපේ හරක් පට්ටි වලටත් ඔය කුරුතිම සිං.. අහවල් එක කොරගන්න පුලුවන්ද?" කියලා ඇහුවා.
"ඇයි බැරි? අපි පටන් ගනිමු කිරි ගොවි සමිතියේ සභාපති තුමාගෙ ගව පට්ටියෙන්ම."
පශු වෛද්‍යවරයා මෙහෙම කිව්වෙ ඔය සභාපති නොම්බර එකේ ගොවියෙක් විතරක් නෙවෙයි, කොයි වැඩේ කලත් හොඳ පිළිවෙලට කරන, අර සිංහලෙන් attention to the last detail කියනව වගෙ වැඩ කරන චරිතයක් නිසා.

මෙහෙම කියපු පශු වෛද්‍ය වරයා මෙන්න මෙහෙම පොදු උපදෙසකුත් දුන්නා.

"එහෙනම් අපි හෙට උදේට පළවෙනි කෘතිම සිංචනය කරමු. සභාපතිතුමා එහෙනම් ගහක් වටේට ඔය පොල් අතු වලින් හරි ටෙන්ට් රෙද්දකින් හරි ආවරනයක් හදලා, ‍තෝරාගත් එළදෙනක් හොඳට නාවලා පිරිසිදු කරලා ගහේ කෙටියට බඳින්න. ඊට පස්සෙ ඔය ටීපෝ එකකුයි, තව පිරිසිදු වතුර බේසමකුයි සබන් කෑල්ලකුයි ආවරණය ඇතුලෙන්ම තියලා තියන්නකො.

ඔන්න පහුවදා උදෙන්ම පශු වෛද්‍යවරයා ජීප් එකෙන් බැහැලා වෛද්‍ය උපකරණ තියෙන අර ලොකු බෑග් එකත් අරගෙන එනකොට, සභාපතිලගෙ  ගෙදර ගොවියො පිරිලා හිටියා මේ අලුත්ම කෘතිම ගැබ් ගැන්වීම කෙරෙන හැටි බලාගන්න.

සභාපතිතුමාගෙ බිරිඳ පිලිගන්වපු වැල්පෙනෙල කැඳ කෝප්පයත් බීපු පශු වෛද්‍යවරයා, "හා එහෙනම් යමු බලන්න." කිව්වා.

ඔන්න කට්ටියම පශුවෛද්‍යවරයා පස්සෙන් වැටිලා පෙරහැරේ වගේ ගියා ආවරණය කරල තිබ්බ ස්ථානයට. ඇත්තෙන්ම සභාපතිතුමා ආවරණය නම් නියමෙට හදලා තිබ්බා.
එළදෙනත් බැඳලා හිටියා ගහේ.
"කට්ටිය දැන් ටිකක් ඈතින් හිටියානම් හොඳයි, මොකත එළදෙන කළබල වෙන්න පුලුවන් නිසා." පශු වෛද්‍යවරයා මෙහෙම කිව්වම කට්ටියම තරමක් ඈතට පසු බැස්සා.

පශු වෛද්‍යවරයා බෑග් එකත් අරන් ඇතුලට ගියා.ඔය සභාපතිතුමාගෙ සංවිධාන ශක්තිය වගෙමයි අපේ පශු වෛද්‍යතුමාගෙ නිරීක්ෂන ශක්තියත්.
ඇතුලෙ කිව්වත් වගෙ සුදු රෙද්දකින් ආවරණය කරපු ටීපෝවක්, තව උණුසුම් වතුර බේසමක්, ඩෙටෝල් සබන් කෑල්ලක් වගේම හොඳ පිරිසිදු සුදු තුවායකුත් තිබ්බා. ඒ ඔක්කොටම අමතරව ගහේ අලුත් පරාල ඇණේකුත් ගහල තිබ්බා.

බෑග් එක ටීපෝ එක උඩ තියලා පශු වෛදවරයා ලේටෙක්ස් අත් වැසුම් ඇඳ ඇඳ ආවරණයේ දොරකඩ ලඟට ගියා. සභාපති තුමා ඉන්නෙ ඔය නොඉවසිල්ලෙන්.
"හැම දේම හිතුවටත් වඩා හොඳට ලෑස්ති කරලා තියෙන්නෙ සභාපති තුමා."
"එහෙමයි සර්."
ආපහු ඇතුලට යන්න හැරුනු පශු වෛදවරයා පොඩ්ඩක නැවතිලා සභාපති තුමාගෙන් මෙහෙම ඇහුවා.
"මං මේ අහන්නමයි හිටියෙ. අර ගහේ ඇණයක් ගහලා තියෙන්නෙ මොකටද සභාපතිතුමා?"
"ආ ඒකද?" සභාපති ගොයියා කියනවා."ඒ සර්ගෙ කලිසම එල්ලන්ට."


DISCLAIMER:මෙවර කතාවට කිසිම පුද්ගලයකුගේ හෝ නම් ගම් භාවිතා කර නොමැති අතර අදාල පින්තූරය දෙස බලා නොයෙකුත් මනස්ගාත සිතෙන් මවාගත්තාට කතුවරයාට කල හැකි දෙයක් නොමැත. මේ අහවලා යයි යම්කුට සිතේ නම් එය හුදු මනෝ විකාරයක් පමණි

කොමෙන්ට් සඳහා පිළිතුරු ලිවීම අවශ්‍ය වූ විට, එය හෙන්රි විසින්ම ඉටු කරනු ඇත

Tuesday, 11 October 2011

"මොකද මචං වුනේ"

චිත්‍රය ඇන්දේ මට හිතෙන හැටි  සහ  HeyDude ලියන "හෙන්රි බ්ලොග් වෝකර්" විසිනි



කුරුණෑගල කාලයක් වැඩ කොලාට පස්සෙ,ප්‍රොමෝෂන් එකක් හම්බවෙලා, ගිරිඋල්ල, මාහෝ, තව මෙකී, නොකී, ඩිපෝ වලත් කරක් ගහල මම  අන්තිමට ලංගොම වැඩ කොලේ අලව්ව ඩිපෝවෙ. ලංගම කෂ්ටියගෙ කතාවක් තියෙනව, ලංගම අයට පැන්ෂන් යනකොට ඉතුරු වෙන්නෙ "තට්ටෙය්, ලොකුවයින් ලබ්බකුය්" විතරය් කියල. ඉස්කෝලෙ යන කාලෙ ගණන් ඔක්කොම වැරදිලා, බිංදුවක් හම්බ වුනාම කියන ලබ්බද වෙන ලබ්බක්ද කියන්න නං, ඕන් මං දන්නෙ නැහැ.

ඔබීගෙද, කෙල්ලො දෙන්නගෙද, මගෙද, දන්නැහැ ග්‍රහයෙක් මාරු වෙලා හරි වෙන මොකක් හරි වෙලා හරි, මට පැන්ෂන් යනකන් ලංගමේ ඉඳල තට්ටෙය්, බිංදුවය් දාගන්න තිබිච්ච චෑන්ස් එක නැති වුනා. මගෙ වයස 34-35 විතර කාලේ වෙනකොට, ඊට ඉස්සර ධාවන අංශෙ සේවකයන්ට විතරක් දීල තිබුන, වන්දි මුදලක් එක්ක "ස්ව-කැමැත්තෙන් ඉල්ලා අස්වීමේ, පරිපාටියද" මොකද්ද නමකින් හැඳින්වුන ලංගම ස්කීම් එකට ඉංජිනේරු අංශෙ සේවකයන් වත් හදිසියෙම ඇතුල් කළා. ඔය කාලෙම ගුරුවරුන්ට, ගුරුවරියන්ටත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම පැන්ෂන් යන්න ස්කීම් එකක් ගෙනාව. ඉතින් අපි දෙන්න, ලංගමේටය්, ගුරුසේවෙටය් ආය්බෝං කියල, ගම්පහ ටවුමෙ, පොඩි කරල වලං කඩයක් නෙමේ, ග්රොසරියක් දාගෙන ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනකන්, මාස හයක් විතර මුදලාලිල වුනා. මුදලාලි වැඩෙත් හැබය්, තට්ටෙය් බින්දුවය් හම්බෙනකන් කොරන්න ලැබුන් නැහැ.

මං අලව්ව ඩිපෝවෙ වැඩ කරන කාලෙ සිද්ධ වුන දෙයක් තමා කියන්න යන්නෙ අද. ලංගම රියදුරු, කොන්දොස්තර මහත්තුරුන්ට, තියෙනව, සේවා මුර ක්‍රමයක් මෙන්න මෙහෙම. දවල්ට වැඩ පටන් අරන්, අන්තිම ට්‍රිප් එක වෙනකම් බස් එක දුවල, රෑට ඩිපෝවෙ නිදා ගන්නව. ඩිපෝවෙ, විවේකාගාර ඒ කියන්නෙ සිංහලෙම්ම කිව්වොත් "රෙස්ට් රූම්" තියෙනව ඇඳන් සහ අනිත් පහසුකන් එක්ක එයාලට රාත්‍රිය ගත කරන්න. ඒ අන්තිම ට්‍රිප් එක දුවපු අයම, පහුවදා පාන්දර පළවෙනි ට්‍රිප් එකේ ඉඳල දවල් වෙනකම් බස් එක දුවල, දවල්ට ඕෆ් වෙලා ගෙදර යනව. ආයෙත් වැඩට එන්නෙ පහුවදා දවල්ට.

මෙහෙම රෑ කාලෙ, ඩිපෝවෙ විවේකාගාරෙ නිදාගත්ත රියදුරු මහත්තයෙක් පාන්දර නැගිටල ලොකු ඈනුමක් අරින ගමං අත් දෙක ඉහලටම ඉස්සුව හිරි අරින්න. අහල ඇතිනෙ සමහරුන්ට ඈනුම් ඇරියම හක්ක පැනල, කට වහගන්න බැරුව යනව. ඒවගේම සමහරුන්ගෙ අත් උඩටම ඉස්සුවම, උරහිස් ජොයින්ට් පැනල, අත් දෙක පහලට දාගන්න බැරුව යනව කියල. අපේ ඩ්‍රයිවර් මහත්තයගෙ වාසනාවට හක්ක පැන්නෙ නැහැ, ඒ වුනාට අවාසනාවට උරහිස් ජොයින්ට් පැන්න.

විවේකාගාරෙ හිටිය අනිත් කොන්දොස්තර, ඩ්‍රයිවර්, මහත්තුරු ෆුල් ට්‍රය් එකක් දුන්න පොරගෙ අත් දෙක පහලට දාගන්න. ම්හු....මොන සෙල්ලං දැම්මත්, අත් දෙක පහලට දාගන්න බැරි වුනා. වෙලාවට අලව්ව ඩිපෝවට අල්ලපු වැටේ තියෙන්නෙ, රජයේ රෝහල. කට්ටිය ලෙඩාව අරන්  ගිහිං  තියෙනව රෝහලට.

අලව්ව රජයේ රෝහල කිව්වට, ඒ කාලෙ ගැහැණු වාට්ටුවකුය්, පිරිමි වාට්ටුවකුය්, තිබුන එක දොස්තර කෙනෙක් හිටිය, පොඩි රෝහලක් ඒක. ඒ දවස් වල ඒ රෝහලේ හිටියෙ, අපේ නලිනි චන්දිමා දොස්තරනෝන  වගේ තරුණ දොස්තර නෝන කෙනෙක්. මට මතක විධියට මූණුවරත්, අපේ දොස්තර නෝනගෙ වගේ. ඒ කාලෙ හිටිය දොස්තර නෝන කසාද බැඳපු කෙනෙක් නෙමේ. අම්මය් තාත්තය් එක්ක ඉස්පිරිතාලේ ඉස්සරහම, පාරෙන් අනිත් පැත්තෙ තිබුන නිල නිවාසෙ පදිංචි වෙලා හිටියෙ.

අල්ලපු වැටේ තියෙන ආයතන දෙකක් හන්ද ඉස්පිරිතාලෙය්, ඩිපෝවය් අතරෙ සෑහෙන සම්භන්ද කමක් තිබුන. ඉස්පිරිතාලෙ ට්‍රොලි, ඇඳන්, එහෙම කැඩුනම කිසිම පැකිලීමක් නැතුව ඩිපෝවෙන් ඒව රෙපෙයාර් කරල දෙනව. ඒ වගේම ඩිපෝවෙ කාට හරි බෙහෙත් ගන්න, තුවාලෙකට බේත් දාගන්න, එහෙම ඕනෙ වුනොත් ඉස්පිරිතාලෙ අයිතිකාරයො වගේ තමා එහෙ යන්නෙ, ගියාම උපරිම සපෝර්ට් එක ලැබෙනව. ඉතින් අපේ ලෙඩාව පාන්දර හතරට විතර අරං ගියාම, නයිට් ඩියුටි හිටිය ඇටෙන්ඩන් මහත්තය දුවල ගිහිං දොස්තර නෝනව අවදි කෙරෙව්වලු. දොස්තර නෝනත් a.s.a.p. ඒ කියන්නෙ සිංහලෙන් කිව්වොත් "ඈස් සූන් ඈස් පොසිබල්" දුවගෙන ආවලු.

ඉතින්  දොස්තර නෝන එලිය වැටෙන්නත් ඉස්සෙල්ල ඇවිල්ල, එයා දන්න ශිල්ප ඔක්කොම භාවිතා කරල, ඩ්‍රයිවර් උන්නැහෙගෙ අත් දෙක පාතට දාගන්න ෆුල් ට්‍රය් එකක් දුන්නට, දෙකම තියා, එකක් වත් පාතට දාන්න පුළුවන් වුනේ නැහැලු. දැන් ලෙඩාව කෑගල්ලෙ හරි කුරුණෑගල හරි රෝහලකට ගෙනියන්න සාකච්චාව යන අතරේ, දවල් ඩියුටියට නියමිත ඇටෙන්ඩන් ගොය්යත් ආවලු සීන් එකට. පොර අපේ "ලෙඩා ඩ්‍රයිවර් උන්නැහෙගෙත්" හිතවතෙක්ලු. ළඟටම ඇවිල්ල, "මොකද මචං වුනේ" කියල විස්තරේ අහන ගමං, කැඩුවලු ලෙඩාගෙ සරම, දොස්තර නෝනත් ඉන්න තැනම.

ලෙඩා ක්ෂණිකව අත් දෙකම පාත් කරල සරම අල්ල ගත්තලු.

Wednesday, 5 October 2011

"බෝතල් දෙකක් ගෙනෙන් මචං..."

"තෝර බලය්" පෝස්ට් එකේ මාත් එක්ක රඟපෑව ඉන්දරේ මතකනෙ. අපි දෙන්න කුරුණෑගල ලංගම රාජකාරි කරන කාලේ, වෙන්ඩ මිසිස් ඉන්දරේ හිටියෙ මාතලේ, එයාලගෙ අක්කලගෙ ගෙදර. වෙන්ඩ නෑනය්, මස්සිනය්, දෙන්නම මාතලේ ආණ්ඩුවෙ කන්තෝරු දෙකක රාජකාරි කලේ. කට්ටියම පදිංචි වෙලා හිටියෙ, මස්සිනාට ආණ්ඩුවෙන් දීල තිබ්බ නිල නිවාසෙක.

මස්සිනා නාලක අය්ය, අපිට වඩා අවරුදු කීපයක් වැඩිමල්, දරුවෝ දෙන්නෙක් එවකට හිටපු තාත්ත කෙනෙක්. ඒ වුනාට, ඕනේ දේකට ඔට්ටු, දැන් කාලෙ ගැටවුන්ගෙ බාසාවෙන් කියනවා නං, "එල පොරක්". නෑනත්, අපරාදෙ කියන්න බැහැ, අපි ගියාම ටොප් එකට සළකනව. කෑම, බයිට්, එහෙම හදල දෙන්න කවදාවත් පස්ස ගැහුවෙ නැහැ. අපේ සෙට් එකත්, ඉඳල හිටලා, මාතලේ ගිහින් නයිටක් ගහන්න කවදාවත් අදිමදි කලේ නැහැ, අහන පරක්කුවට රෙඩී.

දැන් හරියටම හේතුව මතක නැහැ, මාතලේ ගෙදර කාගෙ හරි උපන් දිනේකට අපි සෙට් එකටත් ආරාධනාවක් ලැබුන, පාටියට.  කිසිම බරක්පතලක්, වග කීමක්, නැති ඒ කාලෙ, ඔහොම චෑන්ස් එකක් වැදුනම, හරියට ඉබ්බො ටික ඉස්කාගාරෙට අතහැරිය වගේ.   ලංගම වැඩ කරන අපිට, බස් එකේ යන්න සල්ලි යන එකක්යැ, වරුවක් නිමාඩු දැම්ම, විදගෙන ගියා මාතලේ.

මාතලෙන් බැස්සම තමා කට්ටියට මතක් වුනෙත් ඔන්න, පාටියකට හිස් අතින් යන එක හරි නැහැ කියල. තියෙන, තියෙන, විධියට සල්ලි එකතු කරල, වැඩේට හරියන තෑගිත් අරන්, මදි වුනොත් කියල, තව බෝතල් කීපෙකුත් මාතලේ ටවුමෙන්ම අරන්, ගියා නාලක අය්යලගෙ ගෙදෙට්ට.

ගියාම තමා දැක්කෙ, නාලක අය්ය කාරෙකකුත් අරන් කියල. නිල නිවාසෙ සයිඩ් එහෙක, කණු හතරක් හිටෝල, වහලෙට පොල් අතු හෙවිල්ලල, මඩුවක් ගහල, ලඟින් ගියොත් අපිවත් මළකඩ කන සයිස් එකේ, දඬු ෆෝර්ඩ් එකක්, පාක් කරලා තිබ්බ, බැබලි බැබලි.

අපි ඉතින් කාර් කට්ට ගැන වැඩිය හොයන්න, බලන්න, ගියෙ නැහැ. අපි යනකොටත් පාටියට සියලුම දේ සුදානන්. ඉන්දරේ ශේප් එකේ මල් කඩන අතරෙ, අනිත් කට්ටිය නාලක අය්යවත් පෙරදැරි කරගෙන, කෙලින්ම ආපු රාජකාරියට බැස්ස.

වැඩේ නැගලම යනව. ඉන්දරේත් මල් කඩන, අතරෙම හොරෙන් හොරෙන් වගේ දෙක තුනක් ඇනගත්ත. හැබය් ඉන්දරේ ටිකක් පරිස්සමෙන්, ගානට තමා බීගත්තෙ. මොකද තැනේ හැටියට කාඩ් කුඩු කරගෙනත් බැහැනෙ. ඉන්දරේ නාලක අය්යත් එක්ක වගේම, වෙන්ඩ නෑනත් එක්ක, ගෙදර පොඩි වුන් ටිකත් එක්ක, එහෙම චැට් දාගෙන ඉන්නවත්, දෘෂ්ටිපතේට අහු වුනා.

ඉන්දරේ තමන්ගේ කාඩ් එක ගැන සැලකිල්ලෙන් හිටියට, අනිත් එවුන්ට එහෙම ප්‍රශ්නයක් තිබ්බෙ නැහැනෙ. මොකෝ චරිත සහතික ගන්ඩ එහෙ ගියැය්.  නාලක අය්යත් ඇතුලුව සෙට් එකටම, ගානකට ඇවිල්ල, ටිකක් කරුවල වැටෙන වෙලාව වෙනකොට.  දන්නවනෙ ඉතිං, ඉස්සෙල්ල පටන් ගන්නෙ නැගල යන විදියෙ සින්දු වලින්. ටිකක් වෙලා යනකොට සින්දු වතුර, නැටුන් තෙල්, වලට හැරෙන අවස්ථාව වුනා.

මේ වෙනකොට අපේ සෙට් එකේ "කපටි විජේ" කියන සුරතල් නාමෙන් හැඳින්වුන එකෙක්, ටික ටික කොන්ට්‍රෝල් නැති තත්වෙටත් ඇවිල්ල. පොර හෙණ වේග රිද්ම නැටුම් ඉදිරිපත් කරනව විතරක් නෙමේ, පුටු වල එහෙම හැප්පිලා, විසික් වෙලා, වැටෙන්නත් යනව. සැරයක් දෙකක් වැටුනදත් කොහෙද. සැරයක් දෙකක් එලියට ගිහිල්ල කබරයත් ඇද්දලු. හැබය් පොර තව බොන එක නවත්තලත් නැහැ.

දැන් කපටි විජේ අනිත් එවුන්ටත් වාතෙ වෙලා. ඔහොම තව ටිකක් වෙලා යනකොට පොර නියමම ඔරිජිනල් වාතයක් වුනා. දැන් මූව නවත්තන්න බැහැ, අනිත් එවුන්ගෙ ඇඟේ හැප්පෙනව විතරක් නෙමේ, පොර ටෝක් ඉෂූ කරන්නත් පටන් අරන්, වලියටමය් එන්නෙ. මේ ඔක්කොම සීන් කෝන් අතර තුරේ හෙණ වැස්සකුත් පටන් ගත්ත.

මේ වෙලාවෙ ඉන්දරේ, නාලක අය්යගෙන් කාරෙකේ යතුර ඉල්ලගෙන, විජේට දුන්න සල්ලි කොළ වගේකුත් එක්ක. දීල කිව්ව "මචං බඩු ඉවරය්, තරහ නැතුව, ටවුමෙ ලිකර් ෂොප් එකට ගිහින් බෝතල් දෙකක් අරන් වරෙන්" කියල. විජය වැස්සේ තෙමීගෙනම දිව්වා මඩුවට, නැග්ග කාර් එකට.

අපේ සෙට් එකම හොල්මන් වෙලා, දැන් කටිං ලුකිං. එතකොට තමා, නාලක අය්යය්, ඉන්දරෙය් අපිට විස්තරේ කිව්වෙ. නාලක අය්යගෙ කාරෙක, හාෆ් ටර්න් ස්ටාර්ට්, හැබය් එන්ජිමේ රවුම් බාගයක් කැරකෙන කොට නෙමේ, මාතලේ ටවුම වටේ රවුම් බාගයක් තල්ලු කොලාම.  නාලක අය්යගෙ රාජකාරියට, ගමන් වියදන් හම්බවෙනවලු, හැබය් තමන්ගෙ වාහනේ නොම්මරේ අරව, මේව, බටා ෆෝර්ම් එකේ දාන්න ඕනෙලු. මේක දුවන්න ගත්තු කාරෙකක් නෙමේ, බටා ක්ලේම් කරන්න, නමට තියං ඉන්න ලදරමක්.

අපි ඉතිං රෑට කාල එහෙම සාලෙ පැදුරු එලාගෙන නිදා ගත්ත. කාර් එක ස්ටාර්ට් කොරන්න වලි කාල, බැරි තැන, විජයට වැස්සෙම ඩ්‍රයිවින් සීට් එකේ නින්ද ගිහින්.

Friday, 30 September 2011

"බුරා" ගේ පියාණන්ට නිවන් සුව පතමු...!!!

අන්තිම පේලියේ  කතා පබ්ලිෂ් කරන්නෙකු සහ සිංහල බ්ලොග් වල කොමෙන්ට් කරුවෙකු වන "බුරතෙනෝ" ගේ පියාණන් පරලෝ සැපත් වී ඇති බව රන්දිල් ගේ බ්ලොග් අඩවියේ    "මා කිසිදින ඔබ නුදුටුවද ඒ කම් නැත...මගේ පියාණනි"  මාතෘකාවෙන් යුතු පෝස්ට් එකකින් දැනුම් දී ඇත.

"බුරාගේ පියාණන්ට නිවන් සුව පතමු."


Wednesday, 28 September 2011

'තෝර බලයි'


මගෙ අතිජාත මිත්‍රයෙක් ඉන්දරේ.අපි දෙන්න අඳුනන්නෙ හැත්තෑ ගණන් වල මුල හරියෙ විතර ඉඳල. අපි දෙන්නම එකම ආයතනේ පුහුණු වෙලා ලංගම සේවෙට බැඳුනෙ. ඉන්දරේ මට වඩා අවරුදු දෙකක් විතර සීනියර් බැච් එහෙක. සෑහෙන කාලයක් අපි දෙන්න කුරුණෑගල ලංගම ප්‍රාදේශීය වැඩපොළේ එකට වැඩ කළා. ඉන්දරේ, ඉස්ටෝරුවක් වගේ එහෙකට හදල, ඒත් තාම  විවෘත කරල තිබුන් නැති අලුත්ම බිල්ඩිමක, උඩ තට්ටුවෙ කුලියට දෙන්න හදල තිබුන, කාමර කීපෙකින් එකක්, යාලුවෙකුත් එක්ක කුලියට අරන්, ඒකෙ පදිංචි වෙලා හිටියෙ, ඔය කාලෙ. එතන උයා පිහා ගන්නත් පහසුකන් තිබුන. ටිකක් වැඩි වෙන එවුන්ට එතනම වැටිල නිදාගෙන, පහුවෙනිදා නාගෙන එහෙම වැඩට යන්නත් පුළුවන් හින්ද අපේ සෙට් ඒක ඒ කාලෙ නිතරම බෝතල් වලට සැට් වෙන තැනක්, ඉන්දරේගෙ කාමරේ. හරියට ගුනේ  අය්යගෙ බජව් දාන කාමරෙ වගේ.

ලංගම වුනාට, අපි වැඩ කොරපු තැනින් බස් ධාවනයක් සිද්ධ වුනේ නැහැ. බස්, එන්ජින්, චැසි, ගියර් පෙට්ටි, අනං මනං සම්පුර්ණ අලුත්වැඩියාව විතරය්. ඒ නිසා සිංහල අවරුදු, වෙසක්, නත්තල්, වගේ කාලෙට නිමාඩු ගන්න එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නැහැ. කුරුණෑගලම ටික දෙනා ඇරෙන්න, අව්රුදු කාලෙ එහෙම වෙනකොට පිටිං ඇවිල්ල බෝර්ඩ් වෙලා වැඩ කොරපු, අපේ සෙට් එකම සුමානයක් විතර නිමාඩු දාල ගං රටවල් වලට යනව. එක අවරුදු නිමාඩුවක ඉන්දරෙය් මාය් සෙට් වුනා උන්ගෙ ගමේ යන්න. ඉන්දරේගෙ රූම රත්නපුරේ, ඌ ගියා උන්ගෙ ගමේ. අපි දෙන්න ගම්පහ අපේ ගෙදරත් ගිහින්, අම්ම තාත්තගෙනුත් අවසර අරං ගියා ගාලු.  ආ....කියන්න බැරි වුනානෙ, එතකොට අපි එකෙක්වත් හිරේ විලංගුවෙ වැටිල හිටියෙ නැහැ, ෆුල් නිදැල්ලෙ.

ඉන්දරේලගේ ගම, ගාල්ලෙන් මාතර පාරේ ටිකක් දුර ගියාම හම්බවෙන, "දෙවැටහන්දිය" කියන තැනින් වමට හැරිල යන පාරෙ.( මීගමුවෙ "නාසානන්ද " තෞලය වගේම දකුණු පළාතෙ ප්‍රසිද්ධ වෙලා තිබ්බ "මහා බල" තෞලය නිෂ්පාදනය කරන මහා බල වෙද මහත්තයගෙ බෙහෙත් සාලාව ඒ කාලෙ තිබ්බෙත් දෙවැට හංදියෙ) මට මතක විධියට ඒ පාර යන්නෙ දෙණියාය පැත්තට. ගමේ නම බෝගහගොඩ. බෝගහගොඩ හන්දියෙන් බැස්සම, කබරගල්ලට යන පාරෙ පන්සල එහෙම පහු කරල මීටර් තුන්, හාර, සීයය්  ඉන්දරේලගෙ ගෙදෙට්ටම. ඉන්දරේට හිටිය ගමේ නියම යාළුවො සෙට් එකක්. එක්කෙනෙක් තමා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. ලොකු හාමුදුරුවෝ කිව්වට, අපිට වඩා ඕන්නං අව්රුද්දක් දෙකක් වැඩිමල් ඇති, ඒ කියන්නෙ ඒ කාලෙ හාමුදුරුවන්ගෙ වයස අවරුදු 25 ක් විතර වෙන්නැති. හිටපු ලොකු හාමුදුරුවො අපවත් වුනාට පස්සෙ, ජ්‍යෙෂ්ටම ගෝල නම හැටියට පන්සලේ භාරකාරත්වය හිමි වෙලා. විශ්ව විද්‍යාලෙන් පිට වෙලත් වැඩි කාලයක් නැහැ එතකොට, ළඟ රජයේ පාසලක ඉගැන්නුව වගේ තමා මට මතක. ඉන්දරේ කිව්ව විධියට, ගමේ තරුණ පිරිස පන්සලට හුඟාක් හිතවත් දායක පිරිසක් වෙන්න හේතු වුනේ, මේ තරුණ ලොකු හාමුදුරුවො. පසු කාලෙක ඉතාම අවාසනාවන්ත ලෙස මිනීමැරුමකට ගොදුරු වුනා, තරුණ කාලෙම. (වෙනම පෝස්ට් එකකින් ඒ කතාව කියන්නම්)

ඉන්දරේගෙ අනිත් ගමේ යාළුවො සෙට් එකත් නියම භාණ්ඩ ටිකක්. ඒ සෙට් එකේ හිටිය තැපැල් මහත්තයෙක් එහෙමත්.  තව හිටිය, හිටි ගමන්, එක එක පොඩි කේස් වලට, පොලිසියෙන් හොයන පොරක්. මෑන් එක පාරක් වල් ෆැන්ට පොට් එකක හරි, බූරුව පොළක හරි ඉඳල පොලිසියෙන් පැන්නම, දුවල හැංගිලා තියෙන්නෙ, වියන්න මඩේ දාල තිබිල ගොඩට ඇදපු, පොල් අතු වගයක් යට. පොලිසියෙන් ටෝච් ගගහ සෑහෙන වෙලාවක් හොයල ගියාට පස්සෙත්, හුඟ වෙලා ඉඳල තමා, එලියට ඇවිල්ල තියෙන්නෙ. තලන්න විධියකුත් නැතුව ඉන්දැද්දි, මදුරුවො කාපු සැප එහෙම, රහ කරල කියන්නෙ. තව ඉන්දරේට හිටිය මාමල, බාප්පල, ළඟ නෑදෑයො සැට් එකක්. ආශ්‍රය මචං නොකිව්වට, මචං ලෙවල් එකෙන්. මොකද කට්ටිය ඉන්දරේට වැඩිය ටිකය් වැඩිමල්. කොහොමත් ඉන්දරේ ගමේ යනකොට ගාල්ලේ සිඩ්නි එකත් වන්දනා කරල, තව බෝතල් දෙක තුනකුත් අරං එන බව දන්න හින්ද හාමුදුරුවො ඇරෙන්න අනිත් කට්ටිය ඔක්කොම ඉන්දරේලගෙ ගෙදරට සෙට් වෙනව අනිවාර්යෙන්ම, ඉන්දරේ ගමේ ආව කියල ආරංචි වුනාම.

අව්රුදු දවස් කීපය ඉන්දරේගෙ යාලුවොත් එක්ක ෆුල් සොමියක් දැම්ම. පන්සලටත් කීප වතාවක් ගිහින් හාමුදුරුවොත් එක්කත් කථා බහ කළා. ඉන්දරේලගෙ තාත්ත දෙණියාය පැත්තෙන් එන ලොරියකට ඕඩරේ දීල තිබුනෙ, මං ආපහු යනකොට ගෙනියන්න හොඳම එකෙන් කිරි හට්ටි දෙක තුනකට.  බයිට් එකට එහෙමත් අනුභව කරල, ඉන්දරේලගෙ අම්ම, බාලම්ම, එහෙම හදන මාළු ඇඹුල් තියල් මට රහ වැටිල තිබුනෙ. හෙට ආපහු යන්නෙ කියල කියන දවසෙ, ඉන්දරෙය් මාය් ගියා, දෙවැට හන්දියට මාළු ගේන්න. මාළු මට ගෙදර ගෙනියන්න ඇඹුල් තියල් හට්ටියක් හදාගන්න.

දෙවැට හන්දියෙන් මීටර් සීයක් විතර මාතර පැත්තට යනකොට ඒ කාලෙ තිබුන පරණ තාලෙ තැබෑරුමක්. එතන පුටු මේස නැහැ, බයිට් ඕනෙ නම් එළියෙ හිටිය කඩල, වඩේ, එහෙම විකුණන පොරක්. එහෙමත් නැත්තන් කවුන්ටරේ උඩ තිබුන පොල් කට්ටක දාල ලුනු කැට ටිකක්. ෂැන්ඩියට කෝක්, සෝඩා අනං මනං ඇත්තෙත් නැහැ එතන. ඒ කාලෙ ගල් වලට කිව්වේ "මොලැසස්" එහෙම නැත්තන් "දාම් කොටුව" කියල. මොකද ලේබලේ ගහල තියෙන්නෙ ගල්ඔය සීනි සංස්ථා ඉස්කාගාරයේ නිෂ්පාදිත "මොලැසස්" අරක්කු කියල. ලේබල් එක දාම් බෝර්ඩ් එකක් වගේ කළු සුදු කොටු. තැබෑරුමේ පොල් අරක්කුත් තිබුනද මන්ද, අපි දෙන්න පානය කළේ නං "දාම් කොටුව" කියල මතකය්.

අපි දෙන්න දෙවැට හන්දියෙන් බස් එකෙන් බැස්ස ගමන් කළේ ඉස්සෙල්ලම තැබෑරුම වන්දනා කර ගත්තු එක. ඊට පස්සෙ ගියා මාළු ලෑලි තියෙන ඉසව්වට. එතකොට තමා තේරුනේ, මාළු ගන්න දවස හරි නැහැ කියල. අව්රුදු දවස් හින්ද හුඟක් ඔරු කාරයො ඒ ටිකේම මූදු ගිහින් නැහැ. තිබ්බ මාළු අස්ප ගණන්. පොඩ්ඩක් කැරකිලා බලනකොට, එක මාළු කාරයෙක්ගෙ ගාන හෙන සාධාරනය්, පොර කෑ ගහන්නෙත් “දැන් ගොඩ දාපුව”  කියල, මාළු ගැන අපි දෙන්නට එච්චර තේරුමක් නැතත්, බැලූ බැල්මට බඩු අලුත් වගේ පෙනුනෙ. එච්චර ලොකු මාළු නෙමේ, වැඩිම වුනොත් අඟල් 10 -12 ක් දිග තියෙන්න ඇති. මාළුන්ගෙ ජාතිය දන්නෙත් නැති හින්ද මාළු කාරයන්ගෙන්ම ඇහුව මොක්කුන්ද මේ කියල, පොර කියාපි, ගණන් කියල කෑ ගහන ගමන්ම "තෝරබලය් මහත්තය තෝරබලය්" කියල. ජීවිතේට අහල නැති මාළු ජාතියක් හන්ද පොරගෙන්ම ඇහුව ඇඹුල් තියල් දාන්න මුන් හොඳද කියල. තාම කෑ ගහන ගමන්ම ආයෙත් පොර කිව්ව "ඇඹුල් තියලට නියම භාණ්ඩේ.......ඇඹුල් තියලට නියම භාණ්ඩේ" කියල. ඉන්දරෙය් මාය් "තෝරබලය්" අරං ගෙදර ගියා.

ඉන්දරේගෙ අම්මය්, බාලම්මය්, දෙන්නම මාළු බලල කිව්වෙ, දැකල පුරුදු මාළු ජාතියක් නෙවි කියල. අපි දෙන්නම ඇහැව්වෙ මාළු නරක් වෙලාද කියල. අම්මගෙය්, බාලම්මගෙය්, ඒකමතික තීන්දුව අලුත්ම, අලුත් මාළු කියල. අපි දෙන්නම හෙන සැටිස්. වැඩිය පළපුරුද්දක් නොතිබුනත් කුණු මාළු වලට අහු වෙලා නැහැනේ කියල. දැන් අම්මල කුස්සියට ගෙනිහින් මාළු කපන ගමන් අපිට පොඩි දැනමුතු කමකුත් දුන්න, ඇඹුල් තියල් වලට ගන්නෙ ලොකු මාළු, එහෙම ආදී වශයෙන්. ඉන්දරෙය් , මාය්, කුස්සියේම ඉඳගෙන වැඩේ සුපවයිස් කොරනව. ඔයව් අස්සෙ කුස්සියට ආව ඉන්දරේගෙ හිච්චි බාප්පා. "උඹල දෙන්න කොහෙද මක බෑවිලා හිටියෙ උදේ වරුවම" අනං මනං ප්‍රශ්න ගොඩය්. පොරට අපේ මල් පැණි සුවඳ දැනිල ඊරිසියාවෙද කොහෙද. ඒ අස්සෙ අහනව මාළු හොදි හදන්නද, බදින්නද, පොරට තේරෙන්න ඇති අපි බෝතලේකුත් ගෙනල්ල කියල, දැන් බයිට් මතක් වෙලාද කොහෙද.  ඉන්දරේලගෙ අම්ම කිව්ව "මේ ඔබා පුතාට ගෙදර ගෙනියන්ඩ ඇඹුල් තියල් හදන්න" බාප්ප හෙන ෂොක් එකක් වැදුන වගේ අපි දිහා බලල "කව්ද බන් මේ මාළු ගෙනාවෙ" ඇහුව. ඉන්දරෙත් වීරයා වගේ "අපි" කිව්ව.

ඉන්දරේගෙ බාප්ප හැක...හැක... ගාල කැත හිනාවක් දාල කියපි "තොපි වගේ හරක් දෙන්නෙක්, මුං වැව් මාළු, මගුරො කියල ජාතියක්, තොපිට දීල තියෙන්නෙ  මුංගෙ රැවුල් ගස් කපල" කියල.