My followers

Showing posts with label කුරුණෑගල කතා. Show all posts
Showing posts with label කුරුණෑගල කතා. Show all posts

Saturday, 25 February 2012

කක්ක පෙරේරා



මම කුරුණෑගල ලංගම ප්‍රාදේශීය වැඩපොළේ වැඩ කරන කාලෙ ඒ වැඩපොලේම වැඩ කරපු චරිතයක් පෙරේරා. ලංගම මම පුහුණුව ලබපු වේරහැර ආයතනෙම, මට අවුරුදු කීපෙකට පසුව පුහුණුව ලබපු පෙරේර මේ කියන කාලෙ සේවය කලෙත් කාර්මික අංශයේ. පෙරේර ඒ කාලෙ හිටියෙ වැල්ලව පොළට කිට්ටුව, අනාගත බිරිඳ කාන්තිගෙ ගෙදර. එකට හේතු වුනේ, එයාලගෙ ප්‍රේමයට පෙරේරගෙ දෙමව්පියන් සහ සහෝදර, සහෝදරියන්, බලවත් ලෙස විරුධත්වය පෑම.

පෙරේරගෙ පෙම්වතියගේ ගෙදර, ඉස්සර අපිත් අඩියක් එහෙම ගහන්න සෙට් වෙන තැනක්. නැන්දම්මයි, මාමණ්ඩියි, හරිම හොඳ මිනිස්සු. අපි සෙට් වෙන වෙලාවට බයිට් එකක් හදල දෙන්න, කෑම ටිකක් උයල දෙන්න හෙම කවදාවත් පස්ස ගැහුවෙ නෑ. අපි එහෙ නයිට් පාක් ගැහුවොත්, පහු වෙනිද උදේට වැඩට යනකොට ගෙනියන්න ගින්නෙන් තවපු කෙහෙල් කොලේක ඔතපු, මතක් වෙනකොට දැනුත් කටට කෙල උනන, බත් මුලක් කවදාවත් වැරදුනේ නෑ.

මම කුරුණෑගල ඉන්න කාලෙම, පෙරේර කාන්තිව විවාහ කර ගත්ත. වෙඩින් එකයි හෝම්කමින් එකයි එකම දවසෙ. හෝම්කමින් එකක් ගන්න හනිමූන් යන්න එපෑ. අවුරුදු ගානක් එක ගෙදර ඉඳල උන්ට හනිමූන් යන්න අවශ්‍යතාවක් තියෙන්න නැතුව ඇති. දවල් මඟුල් ගෙදර නියමෙට තිබ්බ. අපි ඉතින් කලින් දවසෙ ඉඳල එහෙ, වැඩට උදව්ව කොහොම වෙතත් යාළුවො නියමෙට පෙරේරගේ අන්තිම බැචුලර් දවස සෙලිබ්රේට් කළා. ඒ කාලෙ Stag පාටි කියන ඒව නං අපි අහළවත් තිබ්බෙ නෑ. මගුල් දවසෙ නෑදෑයො හිටියෙ නං කාන්තිගෙ පාර්ශවෙන් විතරයි. එදාම රෑ තිබුන 'ඇස්ටෝන් ' පාටිය. ඒකට වැඩි හරියක් සහභාගි වුනේ ගමේ අහල පහළ කට්ටිය. ලංගම යාළුවො ටික ඒකටත් සහභාගි වුනා විතරක් නෙමේ, එදා නයිටත් එහෙ.

පෙරේර විවාහ වෙලා කාලෙකට පස්සේ, මැද පෙරදිග රැකියාවකට ගියා. අන්තිම වතාවට හමුවෙනකොට විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න දියණියකගෙ පියෙක්. එක්සත් ජාතීන්ගෙ සංවිධානය මගින් දියුණු වෙන රට වල පවත්වාගෙන යන කාර්මික විද්‍යාල වල, විශේෂඥ උපදේශකයෙක් හැටියට ආසියාවෙ සහ අප්‍රිකාවේ රටවල සේවය කරන්නෙ.


මං මේ කියන්න යන සිද්ධිය වෙලා තියෙන්නෙ, පෙරේර බඳින්න ඉස්සෙල්ල, පිස්සු කෙලින කාලෙ. ඒ දවස් වල මෑන් වැඩ කරල තියෙන්නෙ, උඩුබද්දාවෙ  තිබුන ලංගම වැඩපොළක. ඒකත් කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොලේම ශාඛාවක්. ඕනෙම මාසෙක 8 වෙනිද කියන්නෙ, ලංගම ඉංජිනේරු අංශෙ කට්ටියගෙ අවුරුදු දවස. වෙන විධියකට කිව්වොත් පඩි දවස. මේ කියන පඩි දවසෙ පෙරේර යාළුවො කට්ටියක් එක්ක සෙට් වෙලා හොඳට අනුමත වුනාලු.  උඩුබද්දාව පැත්තෙ කට්ටිය ක්ලබ් වල, බාර් වල, රෙස්ටොරන්ට් වල, සෙට් වෙන්නෙ කළාතුරකින්.  හේතුව දංකොටුව පැත්ත වගේම, ඉස්තරන් විදියට පෙරාපුව උඩුබද්දාව පැත්තෙ හොර ස්පොට් වල ලාබෙට තියෙන හින්ද.




හොර පොට් එකෙන් පටන් ගත්ත වැඩේ ඉවර වෙලා තියෙන්නෙ, තව බෝතලයක් දෙකකුත් අරං ඒ පැත්තෙම එක යාළුවෙකුගෙ ගෙදර. ගෙනාපු බෝතලුත් ඉවර කරන ගමන් සින්දුවක් දෙකකුත් කියල, යාළුවගෙ ගෙදරින් උයල දුන්නු කෑමත් රෑට සප්පායන් වෙලා යාළුවො ටික නිදා ගන්න සෙට් වුනාලු.  ගෙයි සාලෙ පැදුරු එලාගෙන තමා කට්ටිය නිදාගෙන තියෙන්නෙ. දාඩිය දානව, ඒක නිසා හුළං ටිකක් වදින්නත් එක්ක කියල පෙරේර පැදුරකුත් ඉල්ලගෙන ගෙදර ඉස්තොප්පුවෙලු නිදා ගත්තෙ.

රෑ ගානට අනුමත වෙලා පරක්කු වෙලා එහෙම නිදාගත්ත නිසා කට්ටියට ඇහැරෙන කොට  එළිය වැටිලලු හොඳට. අනික් අය දත් මදින්න කුස්සියෙන් අඟුරු කෑලි එහෙම ඉල්ලගෙන එළියට එනකොටත් පෙරේර තාම නිදිලු. යාළුවො ටික පෙරේරව අවදි කරගෙන ලිඳ ගාවට යන්න මිදුලට බහින කොට,  මිදුලෙ මහ විසාල කක්ක බෙට්ටක්ලු. යාළුවො එකිනෙකාගෙ මූන බලද්දි පෙරේර කිව්වලු  ' බල්ලෙක්ද කොහෙද මිදුලෙ කැත කරල '  කියල.

ඉස්තෝප්පු කාමරේ නිදාගෙන හිටිය යාළුවගෙ තාත්ත ඒ වෙලාවෙ දොර ඇරගෙන එළියට ඇවිල්ල කිව්වලු  ' ඔව් ඒ බල්ල ලිඳ ගාවට ගිහින් වතුර බාල්දියක් ඇදන් පුකත් හෝදගත්ත '  කියල.

එදා ඉඳල අද වනතුරු, පෙරේර නිකංම පෙරේර නෙමේ,  'කක්ක පෙරේර '

Wednesday, 7 December 2011

" The Telegram "

පින්තුරෙ ගුගල් වෙතින්

" ඔබ මේ පිවිසෙන්නේ පෞරාණික වෙහෙර විහාර, ගල්ලෙන්,  ගිරි ශිඛර,  වලින් අනූන වූ ඓතිහාසික රාජධානියක්ව පැවති,  හස්ති රාජ පුරවරයටයි"

මේ වචන සෙට් එක කුරුණෑගලට ඇතුල්වෙන ප්‍රධාන පාරවල් පහේම,  ටවුමෙ  ඉඳල කි.මී 2-3 කට එහායින්, කාර් එකකින් එන කෙනෙකුගෙ ඇස් මට්ටමට විතර උස, හත්තක හරස් කඩක හැඩයට ඉදි කරපු, කොන්ක්‍රීට් බෝර්ඩ් වල, ලස්සනට  ගහල තිබුන.

1977 අවුරුද්දෙ ආණ්ඩු පෙරළියකින් පස්සෙ, ඓතිහාසික වටිනාකමක් තිබුන ඒ දැන්වීම් පුවරු, කුරුණෑගල එවකට ෆෝර්ඩ් ට්‍රැක්ටර් ඒජන්සියක් ඇතුළු ව්‍යාපාර කීපයක් පවත්තගෙන ගිය සමාගමක, ප්‍රචාරක දැන්වීම් පුවරු බවට පත් වුනා. ඊට පස්සෙ මගෙ මතකෙ හැටියට ඒ බෝර්ඩ් වල ඉංග්‍රීසියෙන් ගහල තිබ්බෙ  ' අසත්යවාදී ලිමිටඩ්, ඒජන්ට්ස් ෆො ෆෝර්ඩ් ට්‍රැක්ටර්ස්, වෙල්කම් යූ ටු කර්නිගෝල් '  වගේ වචන සැට් එකක්.

ඔරිජිනල් බෝර්ඩ් එකෙයි, පස්සෙ වෙනස් වෙච්ච එකෙයි, තිබුන වචන මට හරියටම මතක නෑ, කියවන කාට හෝ මතක තියෙනව නං, එහෙමත් නැත්තං ඒවයෙ පින්තුර තියෙනව නං, මේ බ්ලොග් සයිට් එකේ දීල තියෙන ඊමේල් ලිපිනයට එවන්න ස්තුති පූර්වකව පබ්ලිෂ් කරන්නම්.

මම කුරුණෑගල ගිය අලුතම වගේ නැවතිලා හිටිය, දඹුල්ල පාරෙ ඔය බෝර්ඩ් එක ඉස්සරහ තිබුන ගෙදරක. 'ඩ්‍රොප් හයර්' පෝස්ට් එකට වැටුන කොමෙන්ට් කීපෙක, ඒ නවාතැන ගැන අහල තිබුන හින්ද, හරියටම තැනත් සඳහන් කරන්නම්. කුරුණෑගල ඉඳල දඹුල්ල පැත්තට යනකොට, වැල්ලව පාරට හැරෙන හන්දිය පහු කරල, මුත්තෙට්ටුගල රේල් ගේට්ටුවත් පහු කලාම, වම් පැත්තෙ තිබුන දෙවෙනි ගෙදර හරියටම.

හුඟාක් පස්සෙ කාලෙක දැක්ක, ඉස්සරහ උස තාප්පයක් එහෙම බැඳල, ස්කාගාර සංස්ථාවේ හෝ 'මෙන්ඩිස්' වගේ කොම්පැනියක, ගබඩාවක් බවට පත්වෙලා තියෙනව ඒ ගෙදර.

ඒ ගෙදර ගෘහ මුලික අන්කල් වැඩිය ගෙදර හිටියෙ නෑ. අන්කල් විශ්‍රාම ගිය උසස් හමුදා නිලධාරියෙක්, තව වෙනස් හමුදාවක් පිහිටවල, එක භාරව ඉඳල තියෙනව එක ආණ්ඩුවක් කාලේ. මේ කාලේ වෙනකොට, දහ අට වංගු වලටත් එහා චන්ද කොට්ටාසෙක මන්ත්‍රී කම කාලයක් කරල, ඊට පස්සෙ චන්දෙන් පැරදිලා හිටියෙ. පැරදිලා හිටියට එයා වැඩි කාලයක් ගත කලේ, ඒ කිව්ව චන්ද කොට්ටාසෙ. 1977 චන්දෙන් දිනල අන්කල් අලුතෙන් පිහිටෝපු රජයෙ බලගතු ඇමති කෙනෙකුත් වුනා. 'මහවැලි යෝජනා ක්‍රමය' ගැන ඒ රජයෙ හිටිය දැනුවත්ම පුද්ගලයා හැටියට, හැමෝම කතා වුනේ එයාට මහවැලි අමාත්‍යාංශය ලැබෙයි කියල, නුමුත් තරුණ ඇමති කෙනෙක් මහවැලියට පත් වුනේ.

ගෙදර පාලන කටයුතු ඔක්කොම භාරව හිටියෙ ඇන්ටි. ඒ කාලේ 'ආන්ටි' කියන පොෂ් වචනෙ භාවිතයක් තිබුනෙම නෑ කියන්න පුළුවන්. ඒ ගෙදර හිටපු අක්කල දෙන්නම කසාද බැඳලා වෙන් වෙලා ගිහින්, වැඩිමල් අය්ය තරුණ වියේදිම අකල් මරණෙකට ගොදුරු වෙලා, ලියුකීමියා රෝගෙන්. ගෙදර හිටියෙ මගෙ වයසේම වගේ පුත්තු තුන් දෙනෙක්. බාලම එක්කෙනා දැන් තාත්තගේ චන්ද කොට්ටාසෙම නියෝජනය කරනවා, ලඟදි කරණමක් ගහල පක්සෙ එහෙම මාරු කළා මගෙ හිතේ.

අපේ කතා නායකයාගේ නම සුනිල් කියමුකෝ. එයා තමා තුන් දෙනාගෙන් වැඩිමල්. සුනිල් බොක්කෙම්ම ලව් කළා, අහල පහල ගෙදරක ගෑනු ළමයෙක්ට. ගෑනු ළමය, ඒ දවස් වල කොළඹ බෞධ කාන්තාවන්ටම වෙන් වෙච්ච ඉස්කෝලෙක ටීච කෙනෙක්. සුනිල්ගේ දෙමව්පියො, මේ සම්භන්දෙට ෆුල් විරුද්ධයි. ඇන්ටි කියන්නේ ඒ දවස් වල 'මං එක පුතෙක් වල දාල ඉන්නෙ, සුනිල් වත් අමතක කරලම දානව' කියල. සුනිල් ඕවට සැලෙන ජාතියේ පොරක් නෙමේ, වුනත් චූටි ප්‍රශ්නයක් තිබුන. සුනිල් එදිනෙදා පොඩි බිස්නස් කළා මිස ස්ථිර රැකියාවක්, ස්ථිර අදායම් මාර්ගයක්, තිබුන කෙනෙක් නෙමේ.

සුනිල්ට කෙල්ලව කසාද බඳින්නත් ඕනේ, ඒ වුනත් ගෙදරින් සපෝර්ට් එකක් නැතුව කසාද ජීවිතය ගැටගහ ගන්න හිතන්නවත් බෑ. කෙල්ල නං සුනිල්ට ජොබ් එකක් නැතත්, සුනිල් එක්ක එන්න එක පයින්. ඒ වුනාට සුනිල් ලැස්ති නෑ කෙල්ලවත් අමාරුවේ දාල ඌත් අමාරුවේ වැටෙන්න. සුනිල් එතරන් ඉහලට ඉගෙන ගත්තු කෙනෙකුත් නෙමේ, තිබුන සුදුසු කම් කිව්වොත් හොඳට ගිටාරය වාදනය කිරීමේ හැකියාවයි, කාර් එළවන්ඩ පුලුවන් කමයි විතරයි. ඒ කාලේ වෙන කොට මැද පෙරදිග රැකියාවලට ලංකාවෙන් කට්ටිය යන්න පටන් අරන්. සුනිලුත් දැම්ම ඇප්ලිකේෂන් එකක්, 'යුනයිටඩ් ඇරැබ් එමිරේට්ස්' කියන රටේ, එයාර් පෝර්ට් එකක් ඇතුලෙ ඩ්‍රයිවින් ජොබ් එකකට.

මාස ගානක් බලා හිටිය, උත්තරයක් නැතුව. ඒ දවස් වල බෝඩිමේ හිටියෙ, ලංගම ගිණුම් ලිපිකරු ජොබ් එකක් කරපු අපේ වයසෙම එකෙකුයි මමයි.

රෑ වෙනකොට සුනිල ගිටාර් එක අතට ගන්නව. මිල්ටන් මල්ලවාරච්චිගෙ, අඳෝනා ගීත අහල එපා වුනා අපිට, ඒ කාලෙ.

මදෑ, පඳුරු වටේ තැලුව. දැන් කතාවට බහිමුකො. සුනිල් දාපු ඇප්ලිකේෂන් එකට පිළිතුරක් ටෙලිග්‍රෑම් එකකින් එයි කියල තමා, බලාපොරොත්තුවෙන් උන්නෙ. ඉස්සර මොබයිල් ෆෝන් එහෙම තිබුනෙ නැහැනෙ. මොබයිල් තියා, ලෑන්ඩ් ලයින් ෆෝන් එකක් තිබුනෙත් කලාතුරකින් ගෙදරක. අපේ බෝඩිමේ නං හැබැයි ටෙලිෆෝන් එකක් තිබුන. අන්කල් වැදි පත්තුවෙ චන්ද කොට්ටාසයක් පාර්ලිමේන්තුවෙ නියෝජනේ කොරන කාලෙ, ලැබිච්ච රාජකාරි ෆෝන් එක සල්ලි ගෙවල දිගටම තියාගෙන මගෙ හිතේ. ඒ වුනාට කුරුණැගලින් පිටට කෝල් එකක් ගන්නව නම්, ඒ කෝල් වලට කියන්නෙ ' ට්‍රන්ක් කෝල් ' කියල. එහෙම කෝල් එකක් ගන්න නම් කුරුනෑගල එක්ස්චේන්ජ් එකට කතා කරල ' ට්‍රන්ක් කෝල් ' එකක් බුක් කරන්න ඕනෙ. එතකොට එක්ස්චේන්ජ් එකෙන් කියනව, වන් අවර්, ටූ අවර්ස්, ත්‍රී අවර්ස්,
' ඩිලේ ' කියල. එහෙම කිව්වට සමහර වෙලාවට කෝල් එක ලැබෙන්නෙ පහු වෙනිදට, සමහර වෙලාවට ලැබෙන්නෙම නෑ. හැබැයි අන්කල් චන්දෙ දිනුවට පස්සේ නං ට්‍රන්ක් කෝල් එක බුක් කරන ගමන්ම අහවල් ඇමතිගෙ ' ඔෆීෂියල් ප්‍රයරිටි ' කෝල් එකක් කිව්වම විනාඩි දෙකෙන් කෝල් එක කනෙක්ට් කරල දෙනව. අනික කෝල් එකත් ෆ්‍රී. [මං එහෙම කියල කුරුණෑගල කඩවල් වල ඉඳලත් කෝල් අරන් තියෙනව]


 ඉතින් ටෙලිෆෝන් වල තත්වෙ ඔහොම කාලෙ, හදිසි පණිවිඩ යවන ඉක්මන්ම ක්‍රමේ තමා ටෙලිග්‍රෑම්. ටෙලිග්‍රෑම් කියන කොට මතක් වුනේ, දන්නවද වැඩක්, දැන් පාවිච්චි වෙන්නෙ නැති නිසාද කොහෙද, ටෙලිග්‍රෑම් වලට අයකරන්නෙ තාම පරණ ගාස්තුද කොහෙද. දැන් අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල ලංකාවට ආපු වෙලාවෙ, මට ටෙලිග්‍රෑම් එකක් ගහන්න සිද්ධ වුනා. මතකද 'Drop Hire' පෝස්ට් එකේ සුළු චරිතයක් රඟ පෑ ' අජපාල '. පොර ලංගමෙන් විශ්‍රාම අරන්, දැන් 'සිංහරාජ' අඩවියෙ තමන්ගෙම චුටි තේ වත්තක් බලා කියා ගෙන ඉන්නව. 'අජේ' ගාව මොබයිල් එකක් තිබුනට ගේ ගාව කන්දක් උඩට නැගල ' අවුට් ගොයින් ' කෝල් ගන්නව මිසක්ක, පොරට නෝ 'ඉන් කමින් ' කෝල්ස්. අජපාලට මං ඕස්ට්‍රේලියාවෙන් ගෙනාපු බෙහෙත් වගේකුත් අරන් එහෙ එනව කියන්න පණිවිඩේ දෙන්න, ගම්පහ තැපැල් කන්තෝරුවට ගියා ටෙලිග්‍රෑම් එකක් ගහන්න.

 තැපැල් කන්තොරුවෙ කෂ්ටියට පළවෙනිම ප්‍රශ්නෙ වුනේ, ටෙලිග්‍රෑම් ෆෝරම් එකක් හොයාගන්න එක. දෙවැනි ප්‍රශ්නෙ වුනේ මං ලියපු ලිපිනයට, ටෙලිග්‍රෑම් එකක් තියා ලියුමක් වත් යයිද කියන එක.  ඒ. අජපාල, මහ පන්නිල, රක්වාන. කියන ලිපිනෙට ටෙලිග්‍රෑම් එක බාර ගන්නත් බෑ කිව්ව. පස්සෙ ඔස්ට්‍රේලියාවෙ ඉඳල එවන ලියුනුත්, ඒ ලිපිනයට ගිහින් තියෙනව කිව්වම, අන්තිමට අකමැත්තෙන් වගේ බාරගත්ත. ගාන ඇහුවම තමා මං උඩ ගිහිල්ල බිම වැටුනෙ. ගෙඩි රුපියල්ම තුනයි පනහක්.

දවසක් අපි වැඩට ගිහින් හිටපු වෙලාවක, බලාගෙන ඉඳපු උත්තරේ ඇවිල්ල සුනිල්ට, ටෙලිග්‍රෑම් එකකින්. අපි දවල්ට කන්න ආවාම සුනිල් පණිවිඩේ අපිටත් කිව්ව, ඒ වුනාට පොරගේ මූඩ් එක හෙණ අප්සෙට්. මොකද කියල ඇහුවම 'ඒක හරියන් නෑ, වඩු ජොබ් එකකට එන්න කියල තියෙන්නෙ'  කිව්ව.

ඒ පාර අපිත් කියෝල  බැලුව ටෙලිග්‍රෑම් එක.
'ඉන්ටවීව් ඇට් හොලිඩේ ඉන්, රූම් 78, කාපෙන්ටර්'  කියල තිබුනෙ. සුනිල හිතල තියෙන්නෙ වඩු ජොබ් එකකට ඉන්ටවීව් කෝල් කරල තියෙන්නෙ කියල. 'වඩු ජොබක්' කිව්වම කවද කාපු ටකරන්ද? සුනිල්ට තේරුං කරල දුන්නම 'කාපෙන්ටර්' කියන්නේ ඉන්ටවීව් එකට ඌව කැඳවල තියෙන සුද්දගෙ නම කියල, සුනිලගෙ කට කනේ.

පොරට ජොබ් එක හරි ගියා, තාත්ත ඇමති කෙනෙක් වුනාටත් පස්සෙ හොරෙන්ම ලංකාවට ඇවිල්ල කෙල්ලව බැඳල, දෙන්නම සාජා වල පදිංචියට ගියා. කසාද බඳින කාලෙ වෙනකොට, සුනිල් එයාර් පෝර්ට් එක ඇතුලෙ ඩ්‍රයිවර්ල ඉන්චාර්ජ් ඉන්න තත්වෙට උසස් වෙලා. හුඟාක් කාලෙකට පස්සෙ ලංකාවට ආව, අයිඩෙන්ටිකල් නිවුන් දූ පැටව් දෙන්නෙකුත් එක්ක. පොර දේශපාලන පැත්තට ගියේම නෑ, බිස්නස් එකක් කරගෙන ජීවත් වුනා.

Thursday, 1 December 2011

Drop Hire

                                                පින්තුරේ ගූගල් ෆ්‍රී ෆොටෝස් වෙතින්


මතකනෙ අපේ ඉන්දරේ. පොරව අඳුරන්නේ නැති අය ඉන්නව නං 'තෝර බලයි' එහෙමත් නැත්තන්  'බෝතල් දෙකක් ගෙනෙන් මචං' එහෙම කියවල බලන එකයි තියෙන්නෙ, නිකං ඉන්න වෙලාවක.
ඉන්දරේට හිටිය සුවිශේෂ යාළුවෙක්‌. ඒ දෙන්නගෙ යාළුකම පැවත ගෙන ආවෙ, දෙන්න වේරහැර අභ්‍යාස ලාභීන් කාලෙ ඉඳල. පසු කාලෙක, ඉන්දරේ විවාහ වුනේ යාළුවගේ නංගි සමග,  යාළුකම තවත් තහවුරු වුනා

ඒ විතරක් නෙමේ යාළුව කර කාරෙට ගත්තෙ, ඉන්දරේගෙ නංගිව. යාළුවො  දෙමස්සිනෝ වුනා. හොඳම හරිය තමා, මගුල් ගෙවල් දෙක මනමාලියන්ගෙ ගෙවල් වල ගත්තට, ජෝඩු දෙකම 'මධු සමය' ගත කලේ, එකම හෝටලයක වීමත්, ජෝඩු දෙකේම 'හෝම් කමින් ' එක, ගාල්ලෙ ඉන්දරේලගෙ ගෙදර පැවැත්වීමත්.

දෙන්නම ලංගම නොයෙකුත් පළාත් වල සේවය කරල, කසාද බඳින්න ඉස්සෙල්ල කාලෙ වැඩ කලේ කුරුනෑගල. ඒ කාලෙ වෙනකොට ලංකාවෙ කට්ටිය මැද පෙරදිග රැකියාවල් වලට යන්න පටන් අරං.  ඉන්දරෙයි, වෙන්න මස්සිනයි, දෙන්නත් ගියා මැද පෙරදිග.

හොඳ කතා ටිකක් තියෙනව, රට යන්න සම්මුඛ පරීක්ෂණ වලට ගිය ඒව, ලංගමෙන් අස්වීමේ සහතිකේ ගත්ත හැටි,  ගැන එහෙම . ඒ වුනාට පඳුර වටේ තලන්නෙ නෑ, මාතෘකාවෙන් පිට පනින්නෙ නෑ, කියන ස්ථිර නිගමන වලට ඇවිල්ල මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්ත නිසා, අද ඒව කියන්න යන්නෙ නෑ. සමහරුන්ට මතක ඇති, ඕනය එහෙම 'Kiss & Ride'  පෝස්ට් එකට කොමෙන්ට් දාල තිබුන, වයසට අනුව මගෙ කල්පනාව අඩු වේගන යනව ඇති කියලත්, සැක පහල කොරල.

ඉන්දරෙයි,  මස්සිනයි, තව ඒ කාලෙ කුරුනෑගල එකට වැඩ කරපු කීප දෙනෙකුයි, ලංකාවෙ එකම ඒජන්සියකින්, එකම රටට, වැඩට ගියා. කට්ටිය වැඩ කලේ ජෝර්දානයේ, අකාබා කියල වරායක. අපේ බුන්ට, සිරෝසිස් කියල තව යාළුවෙක්,‌ එහෙම  ඒ රටේම වෙන තැනක ඔය කාලෙම වැඩට ගියා, මට මතක විධියට එකම ඒජන්සියෙන්. දෙගොල්ලො ගැනම එහෙදි වෙච්ච ඒව ගැනත් සෑහෙන්න කතන්දර තියෙනව.

අවුරුදු දෙකක් විතර වැඩ කරල, කට්ටියම වගේ ආපහු ආවම ලංගමටම ආයෙත් ජොයින් වුනා. ඉන්දරෙයි, මස්සිනයි, ආපහු ලංගමට ජොයින් වෙන්න කලින් කොන්ත්‍රාත් වැඩ කළා කාලයක්. දෙන්න කරපු එක කොන්ත්‍රාත් එකක් තමා 'නැවත වන වගාව'. ඒකට අයිති වුනේ, අක්කර සිය ගණන් ආණ්ඩුවෙන් එළි කරපු කැළෑ වල නැවත ඉක්මනට වැවෙන ගස් වර්ගයක් පැල කිරීම.  බුන්ට,  ඉන්දරේලගෙ ඔය ප්‍රොජෙක්ට් වල සුපර්වයිසර් වැඩකුත් කළා කාලයක්. ඒ විස්තර වෙනම කියන්නන්.

මේ කියන කාලෙ, ඒ කියන්නෙ 80 ගණන් වල මුල හරියෙ, ඉන්දරෙයි, මස්සිනයි, නැවතිලා හිටියෙ කුරුනෑගල, සමන්පුරේ. ඉන්දරේලගේ ලොකු මාමගෙ ගෙදර. 'තටා බෝයි' සහ 'විජේ' කියල තව අපේ ලංගම යාළුවො දෙන්නෙක් පදිංචි වෙලා හිටිය, සමන්පුරේට ටිකක් එහා තෝරයායෙ.

කුරුණෑගල පැත්තෙ කට්ටිය නං දන්නව සමන්පුරේටයි, තෝරයායටයි අතරෙ තියෙනව 'බඩගමුව මුකලාන' කියල කැළෑවක්. ඔය කැළෑව මැද්දෙන් තමා කුරුණෑගල ඉඳල දඹුල්ල පැත්තට යන පාර තියෙන්නෙ.

ඒ කාලෙ පාරෙ, ඔය හරිය දවල්ටත් කරුවලයි,   රැහැයියො කෑ ගහනව. දැන් ඔය කැළෑව හරියෙ පාර දෙපැත්තේ බඩඉරිඟු තම්බල විකුණන පොඩි කඩ මං හිතන විධියට විස්සක් වත් තියෙනව. ඉස්සර තිබුනේ එකම එක කඩයයි, හැබැයි එක රෑටත් විවෘතයි.

ඉන්දරේලගෙ 'වන වගාව' ප්‍රොජෙක්ට් එක ගියේ මාතලේ පැත්තෙ වුනාට, ඒක භාරව තිබුන රජයේ දෙපාර්තමේන්තුවෙ කාර්යාලෙ තිබ්බෙ, කුරුණෑගල කච්චේරිය එහෙම තිබුන, කාර්යාල සංකීර්ණයේ.

කොන්ත්‍රාත් එක ස්ටෙප් එකෙන්, ස්ටෙප් එක, ඉදිරියට යනකොට ප්‍රගති වාර්තාවල් ඉන්දරේල ඉදිරිපත් කරනවා.

එතකොට කන්තොරුවෙ මහත්තයෙක් ඇවිල්ල චෙක් කරල , ඉවර කරල තියෙන වැඩ වලට,'පාට් පේමන්ට්' ගෙවීමක් අනුමත කරනව.

ඉන්දරෙයි, මස්සිනයි, සහයට අපියි, ගිහින් කන්තොරුවෙ පේමන්ට් අනුමත කරන පොරගෙ ඉඳල, එකවුන්ටන්ට්, ගිණුම් ලිපිකරු, කාර්යාල කාර්ය සහායක, එකී නොකී හැම එකාටම ජරාව දීල, තව සෑහෙන රස්තියාදුවකුත් වෙලා තමා, යාන්තන් බැංකු වහන්න ඉස්සෙල්ල චෙක් එක අතට ගන්නෙ. චෙක් එක බැංකුවට ගිහින් මාරු කරගත්තම, ඒ ප්‍රීතිය බුක්ති විඳල එහෙම තමා, සියලු දෙනා සතුටින් විසිර යන්නෙ. සමහර දවසට විසිර යන්නෙත් නෑ, ඉන්දරේලගෙ ලොකු  මාමලගෙ ගෙදර හරි, මෙතනදි කලින් නම නොකියවුණු 'අජපාලය'ගෙ නවාතැනේ හරි මහ රෑ වෙනකම්  ' ප්‍රීතිය බුක්ති විඳල' නිදා ගන්නව.

ඔය කියපු එක 'වන වගා' කොන්ත්‍රාත් එකක, ෆයිනල් පේමන්ට් එකක් ලැබුන එක වතාවක, රුපියල් ලක්ෂ දෙකකට චුට්ටක් වැඩියෙන්.  80 ගණන් වල මුල හරියෙ ලක්ෂ දෙකක් කියන්නෙ, අපි එකම තැන තියෙනව වත් දැකලවත් නැති මුදලක්.  රට ගිහින් වැඩ කොරපු එකෙක් ඇරෙන්න, අපේ සෙට් එකේ වුන් එහෙම මුදලක් ජීවිතේට අත ගාල නෑ. ගාන කොච්චර ලොකු වුනත් ඒකෙ බයට 'ප්‍රීතිය බුක්ති විඳීම' අත අරින්න ඉන්දරේවත්, මස්සිනාවත්, සහයට හිටපු  තටා බෝයි, විජේ, අජපාල සහ මම ලැස්ති වුනේ නෑ.

සජීවී බිලින් ගහක් වහළෙ පසාරු කරගෙන යන ශාලාවක් එහෙම තිබුන නිසා 'වෘක්ෂ ලතා මණ්ඩපය' නමින් අපි හඳුන්වපු, 70 ගණන් වල  ඉඳන්  අපේ රාජ සභාව රැස් වෙච්ච, 'පැරමවුන්ට්'  කියන ආපන ශාලාවෙ  එදා අපි 'ප්‍රීතිය බුක්ති වින්දෙ'.  කොහොම හරි තොවිලෙ ඉවර වෙන කොට රෑ 11 ත් පහුවෙලා. බස් ස්ටෑන්ඩ් එකට නිකමට ගිහින් බැලුව, අතරමං වෙච්ච බස් එකක් වත් තියෙනවද කියල. ම්හු...නෝ සච් ලක්.  ලක්ෂ දෙකකට ටිකක් වැඩි මුදල ඉන්දරේගෙ බෑග් එකේ, කට්ටියට හිතේ හයියට තිබුනෙ, බුක්ති වින්ද ප්‍රීතියයි, පිරිස් බලයයි.

  කාලේ වෙනකොට 'ත්‍රී වීලර්' තිබුනෙ නැහැ. බස් ස්ටෑන්ඩ් එක ගාව හයරින් කාර් පාක් එකේ, එකම එක ලදරන් කාර් එකක් තිබුන ඒ වෙලාවෙ. අපේ දුරම යාළුවො දෙන්නගෙ ගෙවල් තෝරයායෙ හිංද, ඩ්‍රයිවර් උන්නැහෙගෙන් ඇහුව තෝරයායට යන්න කීයක් ගන්නවද කියල. හැරිල යන පාරවල් වලත් යන්න තියෙනවද, ගෙවල් කීයක් ගාව නවත්තන්න වෙනවද, ඩ්‍රොප් කරල එන්න විතරයි නේද, ගියාට පස්සෙ වෙන දිහෑවල යන්න කතා කරන්නෙ නෑ නේද, ආදී වශයෙන් සෑහෙන ප්‍රශ්න පත්තරේකට උත්තර දුන්නට පස්සෙ, පොර අන්තිමට ගානකට පොරොන්දු වුනා.

දැන් කාර් කට්ටෙ නැගල ගමන් පහසුව සලස ගන්න ගමන් අපි තීරණේ කලා, තෝරයායෙ යාළුවො දෙන්න, ඒ කියන්නේ 'තටා බෝයි' සහ 'විජය' ඉස්සර වෙලා බස්සල, අනිත් කට්ටිය ආපහු එන ගමන් සමන්පුරෙන් බැහැල, ඉන්දරේලගේ මාමලගෙ ගෙදරට හරස් පාරේ යන්න තියෙන චුට්ට දුර පයින් යන්න. බඩගමුව මුකලාන මැද්දෙන් යනකොට මට මීටර් වුනා, පොලොන්නරුව ඩිපෝවෙ 'බ්රේක් ඩවුන්' වෑන් එක, සිංහලෙන් කියනව නං 'ආපදා රථය' අර කලින් කිව්ව කඩේ ගාව නවත්තල තියෙනව.

 තට්ටය බස්සන්න ගියාම තමා තේරුනේ, ඌට අපිට වඩා 'ප්‍රීතිය' වැඩියි කියල. බොහොම අමාරුවෙන් කාර් එකෙන් බස්ස ගත්තට පස්සෙ මේක ගෙට ගිහින් බුදියගන්නෙ නැතුව, අපිට පරෙස්සමෙන් ආපහු යන හැටි ඉඳල, සල්ලි ආයෝජනේ කරන හැටි දක්වා උපදෙස්, අවවාද කෝටියයි. ඒ අස්සෙ ඩ්‍රයිවරයට මළ පැනල අපේ පමාව ගැන. 'ඩ්‍රොප් හයර් නං ඩ්‍රොප් හයර්, නෑදෑ ගමනක් කිව්ව නං මන් කීයටවත්, මේ ගානට, මේ හයර් එක එන්නෙ නෑ' ඩෝප් කාරයෝ එක්ක හයර් ගියාම සිද්ධ වෙන දේවල්, අරවද, මේවද, ලොකු ටෝක් ගොඩයි. මේකගෙ කන්දොස්කිරියාව හිංද මුගෙ කාර් එක හයර් කලාට වඩා හොඳා, අමාරුවෙන් හරි පයින් ගමන ගියා නං කියල අපිට හිතිලා තිබ්බේ මේ වෙන කොට.

තටාබෝයි ගෙ ගෙදර දොරට තට්ටු කරල, රාණි අක්කව ඇහැරවල, පොරව ගෙදරට බාර දීල එතනින් පිටත් වෙනකොට ටිකක් වෙලා ගියා තමා, ඒ වුනාට බස් ස්ටෑන්ඩ් එකේ වේලි වේලි හිටිය ඩ්‍රයිවරය මග දිගට ටෝක් ඉෂූ කරන්නෙ, ඌට රෑ තිස්සෙ එන්න තිබ්බ හයර් ඔක්කොම, අපි හිංද නැති වෙච්ච සයිස් එකෙන්. ඔහොම අපිට බැණ බැණ බඩගමුව කැලේ මැද්දෙන් එද්දි එක පාරටම කැස්සක් දෙකක් කැහැල, කාර් කට්ටෙ එන්ජිම නැවතුනා. ඩ්‍රයිවර් බැහැල බොනට් එක ඇරගෙන කූරු ගානව. ඒ අස්සෙ අපි කතාවෙන්නෙ, ඊළඟ වංගුවෙන් එහා පැත්තෙ, කඩේ ගාව නවත්තල තිබ්බ බ්රේක් ඩවුන් වෑන් එක ගැන.

ටිකක් වෙලා කූරු ගාල ඩ්‍රයිවර් උන්නැහෙ, ආපහු කාර් එකට නැගල කියාපි 'මහත්තේලා බැහැල තල්ලුවක් දාන්න' කියල. අපි බැස්ස, වුනාට තල්ලු දාන්න නැවතුනේ නෑ. කඩේ පැත්තට ඇවිදගෙන යන්න පටන් ගත්ත. ඩ්‍රයිවර් උන්නැහෙ ඒ පාර කෑ ගහල අහනව 'මහත්තේලා කොහෙද යන්නේ' කියල, අපේ එකෙක් හැරිල කිව්ව 'ඩ්‍රොප් හයර් නං ඩ්‍රොප් හයර්' ඩ්‍රයිවර් උන්නැහෙ කියල.

ප.ලි.

අපි බ්රේක් ඩවුන් ඩ්‍රයිවර්ට කතා කරල, එයාල කාල ඉවර වුනාම, සමන්පුරේට චුට්ට දුර ගිහින් දම්ම ගත්ත.

හයරින් කාර් ඩ්‍රයිවර් උන්නැහෙ, කැලේ මැද්දෙ එදා රෑ මොනා කොරගත්තද දන්නෙ, එයාම විතරයි