My followers

Thursday 15 December 2011

'චොප්පෙ'

පින්තුරෙ ඉස්සුවෙ ගූගල් ෆ්‍රී ෆොටෝස් වලින්

මේ සිරිත තිබුනෙ කොළඹ පැත්තෙ විතරද කියන්න නං ශුවර් නෑ. සල්ලි කාර, වැදගත් කියන අය, මිය පරලොව ගියාම ඉස්සර තිබුන සිරිතක්,  මිනිය කනත්තට ගෙනියද්දි, පොඩි අහස් යාත්‍රාවකින් ඔය පෙරහැරට මල් දානව. ඔය සීන් එක මං ඉස්සෙල්ලම දැක්කේ, 1960 ගණන් වල. මල් දානව දැක්කෙ මං, ලේසි පාසු කෙනෙකුට නෙමේ.  සන්ත බස්තියම, මරදාන, කුප්පියවත්ත, පංචිකාවත්ත, පරණවාඩිය, ස්ටොක්වත්ත, පුංචි බොරැල්ල, පැත්ත ඒ කාලෙ හොල්ලගෙන හිටපු ගණන් කාරය වෙච්ච 'චොප්පෙ' අය්යට. මම කොච්චර ලක් කාරයෙක්ද කිව්වොත්, චොප්පෙට මල් දානව දැකල දවස් කීපෙකින්, චොප්පෙගෙ දකුණු අත වගේ හිටිය 'මදාවි සෝමෙ' ගෙ මිනිය  ගෙනියන පෙරහරට මල් දානවත් දකින්න ලැබුන මට. දැක්ක කිව්වට පෙරහැරවල් දැක්කෙ නෑ.  චුටි ප්ලේන් එකක්, උඩ කැරකි, කැරකි, පහලට දාන මල්, වැටෙනව විතරයි දකින්න ලැබුනෙ.
ඔය කියන කාලෙ  'පුංචි ඔබා'  වැඩිම වුනොත් හතරේ හරි පහේ  හරි පන්තියෙ විතර වෙන්නැති.  ඒ කාලෙ 'පුංචි ඔබා' හිටියෙ, මෝචරියට බොහොම කිට්ටු, පස්සෙ වකවානුවක, 'ළමා කතා ලියන බඩා'  එහෙම හිටපු, මෙඩිකල් කෝලේජ් හොස්ටල් එකට අල්ලපු වැටේ තිබ්බ පාසැලක, බෝඩිමේ.
ඉස්කෝලෙ ඇරෙන්නෙ තුනට. ඉස්කෝලෙ ඇරිල බෝඩිමට සැපත් වුනාම වඩේ දෙකක්, බනිසක්, තල කැරලි දෙකක්, හොරට වගේ බටර් ජෑම් ගාපු පාන් පෙති දෙකක් වගේ,  දේවල් වලින් එක ජාතියක් එක්ක,  කිරි තේ එකක් හම්බෙනව හැමෝටම. ඊට පස්සේ කට්ටියගෙ රාජකාරිය හැන්දෑවේ හය වෙනකන් ක්‍රිකට් ගහන එක. ඉස්කෝලෙ ඉඩමෙ තිබුන සුළු ඉඩකඩේ සමහර වෙලාවට මැච් තුනක් හෝ හතරක් යන දවස් තිබුන. සමහරු ගියා ක්‍රිකට් ගහන්න 'කැම්බල් පාක්' එකටත්. කැම්බල් පාක් යන කට්ටිය ලිස්ට් එකක් ලියල, බෝඩින් මාස්ටර් කෙනෙක් ගෙන් හරි, මේට්‍රන් කෙනෙක් ගෙන් හරි, අවසර ගන්න ඕනෙ.
ප්ලේන් එකෙන් මල් දාන, එක ළඟ සීන් දෙකම දැක්කෙ, ඉස්සෙල්ල කිව්ව වගේ ක්‍රිකට් ගහමින් ඉන්න වෙලාවල. ඒ වෙනකොට අපිට විතරක් නෙමේ, රට පුරාම ආරංචි වෙලා තිබ්බෙ, චොප්පෙයි, මදාවි සෝමෙයි, පොලිස් අත්අඩංගුවට ගත්තු බවත්, පොලිස් ජීප් එකෙන් පැනල යන්න ට්‍රයි කරද්දි වැටිල තුවාල වෙලා ඉස්පිරිතාලෙදි දෙන්නම අවසන් හුස්ම හෙලපු බවත්.
වර්තමානෙ තරම්ම නැතුවට, ඒ කාලෙත් 'පොලිස් බෘටැලිටි' කියන ඒව ටික ටික හරි තියෙන්න ඇති. චොප්පෙ මුත්‍රා බොක්ක පුපුරල සහ මදාවි සෝමේ ඔලුව දරුණු විදියට තුවාල වෙලා මැරුනෙ, කියල තමා ආරංචිය පැතිරුනේ. චොප්පෙයි, මදාවි සෝමෙයි, එයාල රජ කරගෙන ගිය වැයික්කියේ ලොකු පුංචි ඔක්කොම ව්‍යාපාරික ස්ථාන වලින් කප්පන් අරං තියෙනව ඒ කාලෙ. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ, එයාලගෙ වැයික්කියයි, මරදාන පොලිස් වැයික්කියයි, දෙකම එකක් වෙච්ච එක.
මේන් ස්ටෝරියට එන්න ඉස්සෙල්ල, අතුරු කතාවක් මතක් වුනා, ඒකත් කියලම ඉන්නංකො. චොප්පෙටයි, මදාවිටයි, හෙණ ආසාවක් තිබිල තියෙනව, කෝච්චියක් එළවන්න. [මට නං තාමත් තියෙනව, ඒ ආසාව.] දෙන්නත් එක්ක දවස් ගානක්ම, මරදානෙ ස්ටේෂන් එකේ ප්ලැට්ෆෝර්ම් වල රස්තියාදු වෙලා, බලාගෙන ඉඳල තියෙනව ඩ්‍රයිවර්ල ගමන පටන් ගන්න හැටි. ඔය කියන දෛවෝපගත දවසෙ, මරදානෙ ස්ටේෂන් එකේ හිස් කෝච්චියක් නවත්තල, ඩ්‍රයිවරුයි, ෆයර්මන්, දෙන්නම අඟුරු එන්ජිමෙන් බැහැල පොඩ්ඩකට එහා මෙහා වෙනකන් බලා හිටපු මේ දෙන්න, කෝච්චිය ධාවනේ කොරල කොටුව පැත්තට. කෝච්චිය යන්න පටන් ගත්තම තමා, දෙන්නට මතක් වෙලා තියෙන්නෙ,  නවත්තන්න දන්නෙ නැති වග. මුන් දෙන්න යන කෝච්චියෙන් පැනල, මාරු වෙලා යන්න ගිහින්. කෝච්චිය කොහොමත් මරදානයි, කොටුවයි, අතරෙ සයිඩිමකට යවන්න තමා තිබිල තියෙන්නෙ. ඒක ඉතිං හෙමීට සයිඩිමට ගිහින්, බැරියර් එකත් කඩා බිඳගෙන නැවතිලා.

'සර්වෝදය' ව්‍යාපාරෙ නායක ඒ.ටී. ආරියරත්න මහත්මය ගැන හුඟාක් පස්සෙ කාලෙක පත්තරේ ගිය ආටිකල් එකක තිබුන, උන්නැහේට හානියක් කරන්න, එයාගෙ විරුද්ධ කාරයෙක්, චොප්පෙට කොන්ත්‍රාත් එකක් දීල තිබුන කියල. වැඩේ දෙන්න බාරගත්තු චොප්පෙ, ආරියරත්න මහත්මය යන, එන, තැන් එහෙම හොයන්න ෆොලෝ කරනකොට දෙන්න හිතවතුන් බවට පත්වෙලා. අන්තිමට චොප්පෙ ආරියරත්න මහත්මයාගේ ආරක්ෂකයෙක්‌ වුනාලු. චොප්පෙ 'සම රිසි' පුද්ගලයෙක්‌ කියලත් කතාව තිබුන, ඒක ගැන හරි ආරංචියක් දන්නෙ නෑ.චොප්පෙ ගණන් කාරය වෙලා ඉන්න කාලෙ, කොළඹ මහ නගරසභාවෙ නගරාධිපති නමින් තමා අර ප්‍රසිද්ධ ස්ටේඩියම් එකක් එහෙම ඉදි වුනේ. දැන් ඒකෙ නම වෙනස් කරලද කොහෙද. පස්සෙ කාලෙක මැද කොළඹ බහු ආසනෙන් චන්දෙ දිනල පාර්ලිමේන්තු ගිය, ඊටත් පස්සෙ කාලෙක, ලංකාවෙ ජනාධිපති තනතුර පවා හෙබවූ කෙනෙක්, ඒ කාලෙ කොළඹ නගර සභා මංත්‍රී කෙනෙක්.
බහු ආසන කියන්නෙ මොනවද දන්නෙ නැති අයට ඒකත් කියල ඉන්නම්. ඒ කියන්නෙ, මැද කොළඹ වගේ නොයෙකුත් ජාතීන් වල අය පදිංචි වෙලා හිටිය චන්ද කොට්ඨාස වලට, පත් කරන්න නියමිතව තිබුන, මංත්‍රී වරු කීප දෙනෙක්. චන්ද දායකයන්ට තිබුන සාමාන්යෙන් තියෙන එක චන්දෙ වෙනුවට, පත් කරන්න නියමිත මංත්‍රීන් ගානට සමාන චන්ද ගණනක්. තමන්ගේ රහස් චන්දෙ, එකම අපේක්ෂකයාට දාන්නත් පුළුවන්, ඕනේ නම් අපේක්ෂකයො අතර බෙදල දාන්නත් පුළුවන්, අවසරේ තිබුන.
ඒ කාලේ, චන්ද අපේක්ෂකයන්ට එක චන්ද කොට්ටාසෙකට  වැඩිය චන්දෙ ඉල්ලන්නත් අවසර තිබුන. මට මතක හැටියට ආර්. එස්. පෙරේරා, ජේ. ආර්. ජයවර්ධන කියන මංත්‍රීවරු චන්ද කොට්ඨාස දෙකක් නියෝජනේ කරපු කාලයක් තිබුන. මම කියල තියෙන කරුණු,  සහ නම් ගම්, වැරදි නං දන්න කෙනෙක් මාව නිවැරදි කලොත් ස්තුතිවන්ත වෙනව.
මං මේ කියන්න යන කතාව ඒ කාලෙ නං සෑහෙන්න ප්‍රසිද්ධ එකක්, දැනුත් මතක කට්ටිය ඇති. මේකත් මම වෙනදට කියනව ව්ගේ ඇත්තම කතාවක්. චොප්පෙ ගනං කාරයෙක්, කප්පන් කාරයෙක්, දාමරිකයෙක්, වුනාට පින් අතේ වැඩත් කරල තියෙනවලු.  කුප්පියවත්තෙ පන්සලේ දාගැබ හදන්න මූළික වෙලා කටයුතු කරල තියෙන්නෙත් චොප්පෙ කියලයි කියන්නෙ. කොහොමටත් උඩින්ම පලන්දල තියෙන චුඩා  මානිඛ්යට සල්ලි එකතු කරල තියෙන්නෙ චොප්පෙ. ඔය ගැන කතාත් පැතිරිලා තියෙනව, කලෙක්ෂන් එකෙන් චොප්පෙ ගානක් සාක්කුවෙ දාගත්ත කියලත්. කොහොම හරි දාගැබ විවෘත කරන උත්සවේ ආරාධිත අමුත්තන්ට ස්තූති කරල හෙම පවත්තන, 'ස්තූති කථාව' කරන්න පැවරිලා තිබිල තියෙන්නෙ, චොප්පෙට.
දැන් වගේම, ඒ කාලෙත්, දේශපාලකයො චොප්පෙ වගේ කට්ටිය යොදාගෙන තියෙනව, චන්ද කටයුතු වලට. හැබැයි බැහැල වැඩ කරපු චොප්පෙ වගේ අය දේශපාලලත් එක්ක 'ෆස්ට් නේම් බේසිස්' ඉන්න ඇති කියල හිතන්න පුළුවන්, චොප්පෙ කුප්පියාවත්තෙ පන්සලේ පවත්වපු, ඉස්තුති කතාවෙ හැටියට.
චොප්පෙ පවත්වපු කතාවෙ මුල ටික විතරයි, මම අහල තියෙන්නෙ. කතාව ඉවර කලාද, නැද්ද, යන වග මම හරියටම දන්නෙ නෑ. මෙන්න මං අහල තියෙන ටික.
' මූලාශනේ ඉන්න අපේ ශුගතෙගෙන් අවසරයි, ෂයිඩ් එකෙන් ඉන්න ප්‍රේමෙගෙන් අවසරයි, අනිත් ෂයිඩ් එකෙන් ඉන්න සංඝයාගෙන් අවසරයි, බජාර් එකේ කකුල් වලින් අවසරයි.....මේ බජාර් එකේ සමහර වේ## පුතාල කතා වෙනව කියල ආරංචි වුනා.....චූඩා මානික්කෙට එක්කහු කොරපු ශල්ලි වලින්, චොප්පෙ කළු කෝට් මැහුව කියල. එහෙම කියපු හු##ගෙ පුතාලගෙන් මං අහන්න කැමතියිඋන්ගෙ  අම්මලගෙ අහවල් එකද, අර වේර උඩ දිලිෂි  දිලිෂි බැබලෙන්නෙ   කියල'

111 comments:

  1. ෆට්ට ස්තූති කතාවකනේ බොල ඒක...

    ReplyDelete
  2. අන්න නියම පාතාලයො...දැන් ඉන්න එවුන්ට හරියට පාතාල ටොක් දෙන්ඩ දන්නේත් නැනේ....හික්...හැබැ..ජරා දෙශපාලනේ මඩ ගොහුරුව..මඩ කරවන්නේ ඉතින් ඔය පාතාල පිංගුත්තරයො තමා...

    ReplyDelete
  3. අපේ බෝඩිම තිබුනෙ ඔබාල කැම්බල් පිටියට යන පාරෙ. 88 කැම්බල් ප්ලේස්

    ReplyDelete
  4. @ පැණි දොඩම් ,
    වෙලාවට කතාවෙ ඉතුරු හරිය මං වත් දන්නෙ නැත්තෙ

    @ Raj
    මගෙ නං අදහස පාතාලයෝ දේශපාලනේට ඇදල ගත්තෙ දේශපාළුවෝ.......උන්ගෙ වාසියට

    @ 108543860788859599679 ,
    ඒ කාලෙ ඒ ලඟම තිබ්බ බාලිකාවටද ගියෙ?

    ReplyDelete
  5. ඉස්තුති කතාව පට්ට පට පට හිහි..

    ReplyDelete
  6. //සයිඩ් එකෙන් ඉන්න සංඝයාගෙන් අවසරයි//

    මේක ඉතින් තාමත් එහෙමයිනේ. නියම ස්තූති කතාවක්...:)))

    ReplyDelete
  7. ඒකට දැන් ඉන්න උන්...

    "ඒක තිබ්බට මේක නෑ මේක තිබ්බට මේක නෑ" අන්තිමට ඔක්කොම නෑ නෑ කියල අද උනුත් කොහේ දීපන්කරේක ගියාද කියල නෑ...

    ReplyDelete
  8. හයියූ......... සේදී.......... ;D මාල ඉත්තූති කතාවක්නේ අෆ්ෆා...... හැක්zzzzzzz ( තාම සිනා )

    ReplyDelete
  9. හිටියෙ 88 කාමල් කොන්වන්ට් එකේ .ඒකෙ හිටියෙ සියලු සාන්තුවරයො. නමුත් මම ගියෙ පන්සල පාර මරදාන බාලිකාවට.

    ReplyDelete
  10. මමත් කෝච්චි එළවන්න ආසාවෙන් හිටියා. හැබැයි බයකුත් තිබ්බා. කොහොමද හරියට රේල් පිල්ල උඩ මේක දක්කගෙන යන්නෙ කියලා. මම හිතුවේ ස්ටීරියන් වීල් එකකින් තමා රේල් පිල්ල උඩ කොච්චිය බැලන්ස් කරගෙන යන්නෙ කියලා. ඉතිං මම හිතුවා කෝච්චිය එලෝනවට වඩා කොච්චර ලේසිද ප්ලේන් එලෝන එක කියලා.
    .............

    ඔන්න බුන්ට සීයගේ පඳුරු තැලිල්ල අදනං වැඩදායක වෙලා තියෙනවා. චොප්පෙ කියන්නෙ අහවල් පුද්ගලයෙක්ද කියලා නියමෙට කියලා තියෙන හන්දා අවසාන් ඡේදේ ගතිය වැඩියි....

    ReplyDelete
  11. පට්ට ඔබෝ පට්ට. කියලා වැඩක් නෑ. මමත් ඔය කතාව අහලා තියෙනවා. බහු ආසනයක් නිසා අනුර බන්ඩාරණායක ඉල්ලුවේ නුවර-එළියෙන් මට මතක විදියට. ගාමිනි දිසානායකගේ මරණෙට පොඩි ප්ලේන් එකකින් ප්‍රේමදාස මහත්තයා දැම්මා.. මල් නෙමෙයි කඳුළු ගෑස්. දැන් චොප්පෙලා හන්දි ගානේ රැස්වෙන්නේ නෑ. එයාලට රැස්වෙන්න දියවන්නාවේ තැනක් තියෙන්වා. පන්සල් හදන්නේ අදත් ඒගොල්ලො තමයි.

    ReplyDelete
  12. ela ela.
    niyama isthuthi kathawa :-)

    ReplyDelete
  13. පට්ට කතාවක් !!
    අඩේ මම මේ චොප්පේලාගේ කතා ඇහුවමයි. මේ වගේ කතා අහන්න ඉතින් අපේ ඔබා මාමම ඉන්න එපැයි. මරු මාමේ

    ReplyDelete
  14. "එහෙම කියපු හු##ගෙ පුතාලගෙන් මං අහන්න කැමතියි, උන්ගෙ අම්මලගෙ අහවල් එකද, අර වෙහෙර උඩ දිලිසෙන්නෙ කියල"

    හික් හික්..පිස්සු පීකුදු කතාව ඔබා මාමා :D

    ReplyDelete
  15. සිරා කථාව අන්කල් මචං.... නියමෙට ලියලා තියනවා....ජය !!!

    ReplyDelete
  16. ඇත්තටම එතකොට වෙහෙර උඩ දිලිසෙන්නෙ මොකක්ද?...

    වෙලාවට මේක කාමරේ ඉඳන් කියෙව්වෙ... ඔපීසියෙ ඉඳන් කියෙව්ව නම් වසල හමාරයි..

    ReplyDelete
  17. මේ ඇත්තටම ඒ යකා එහෙම කියලද?මං අදමයි ඒ කතාව ඇහුවේ!!නියම කතාව
    ජයවේව!!

    ReplyDelete
  18. හික්ස්!මෙන්න ඩයල්! අද ඉන්නේ චන්ඩි නෙවෙයි නොන්ඩි! පාලු ගෙයි වලං බිඳින්න විතරයි උන් දන්නේ!

    ReplyDelete
  19. ඔබා අයියා මම දන්න තරමින් චොප්පේ මැරුනේ පොඩි කොල්ලෙක් දුන්න කඩු පාරකින්. මම නම් හරියටම දන්නේ නැහැ. මම ඉපදිලත් නැහැ. ඔය කියන කාඅලේ අපේ තාත්තා නිතරම කියනවා ඒ දව්ස්වල ඔය ගැන. ජෝතිපාල චොප්පේ දෙන්න හරි මිත්‍රයිලු. ආරියරත්න මහත්තයාට යන යන තැන්වල කාර එකට ඇන තියනවලු. දැන් ඉන්න චන්ඩි වගේ නෙමේ ඒ කාලේ චන්ඩි ඇත්තටම වැඩ කාරයෝ. අතින් පයින් වැඩ පෙන්නන රුසියෝ. ඔය කාලේ චන්ඩි අතර තිබ්බ හොඳම සටන් ක්‍රමය තමයි චීනාඩි. මම දැකලා තියනවා. හරිම ලස්සනයි. හොඳ මතකයක් ඇවිස්සුවා ඔබා අයියා.

    ReplyDelete
  20. මරු ස්තුති කතාව..

    දැන් කාලේ චොප්පෙලා ඔහොම කතාවක් කරන්න පුළුවන් එවුන් නෙවේ...

    බහු ආසන තිබුනා හාරිස්පත්තුවේ, නුවර එලියේ...බේරුවලත් තිබ්බද කොහෙද... අනුර බණ්ඩාරනායකයි ගාමිනී දිසානායකයි දෙන්නම ආවනේ ඒකාලේ...

    ReplyDelete
  21. හික්ස් චොප්පෙගේ කතා පන්සල් කතා ලේබලය යටතේ මොකෝ ඔබා මාමේ ඒ

    ReplyDelete
  22. අන්න නියම ටෝක්... මේ ස්තූති කතාව ඉවර වෙනකම් ආරාධිත අමුත්තෝ හිටියද දන්නේ නෑ සභාවේ....

    ReplyDelete
  23. මම අහල තියෙන්නෙ ඔය ස්තුති කතාව චොප්පෙගෙ ගෝලයා (ඔය චොප්පෙත් එක්කම මැරුනු බුවා) පැවැත්තුව කියල . . .

    ReplyDelete
  24. කතාවනම් පට්ටය...

    ඇත්තටම මුන්ව මරන්න වෙන්නේ ඒ විදිහටනේ ඔබා මාමේ
    නැත්නම් ඉතින් පොලිස් අත්අඩංගුවට ගත්තට පස්සේ කවුරුහරි දේසපාලුවෙක් පැනල මුන් වගේ උන්ව ආරක්ෂා කරන්න බලනවනේ...

    ReplyDelete
  25. මේ වගේ චරිත වලට කිට්‍ටුවෙලා බැලුවොත්නම් අපිට පොත් ගනන් කතා ලියන්න කරුණු කාරනා සොයගන්න පුලුවන් වෙයි නේද?

    ස්තූති කතාවනම් සුපිරි .

    ReplyDelete
  26. ඔබා මාමා කේරි කොලේජ් එකේද?

    ඔය චොප්පෙ ගැන කතන්දර 2009 ස්කෝලෙන් අවුට් වෙච්ච අපිත් අහලා තිබුණා.

    අපේ ස්කෝලෙ තියෙන්නෙ මරදානෙ ... :-D

    ReplyDelete
  27. හප්පේ බඩත් කොරවුනා හිනා වෙලා.මරු කථාව නේ චොප්පෙගේ....ඒ කාලෙත් පොලීසිය එක්ක ආයුධ හොයන්න ගිහිල්ලා බෝම්බ වලින් ගහන්න ගියාම ආරක්ෂාවට වෙඩිතියනව වගේ සීන් ගිහිල්ලා තියෙනවනේ...

    ReplyDelete
  28. අඩේ ඔබා මාමෙ මටත් තාම ඔය කෝච්චි එලවන උන තියනව නොවැ.ල0කාවට ආවම කියන්ඩකො අපි ටයි එකක් දෙමු. ඒක නෙමෙයි අර කතාවෙ ඉතුරු ටික ඔබා මාමට ලියන්ඩ තිබුන මගෙ හිතේ.
    -බුදියා-

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. '...එහෙම කියපු හු##ගෙ පුතාලගෙන් මං අහන්න කැමතියි, උන්ගෙ අම්මලගෙ අහවල් එකද, අර වෙහෙර උඩ දිලිසෙන්නෙ කියල'

    අයියෝ... පණ ඇරගෙන හිනා උනා මේ කතාවට..... ඔබී නැතිවෙනකම් ඉඳලා ලස්සනට කතා ලියනවනෙ ඔබා මාම....

    ආයිස් අප්පා..... ඔබා මාමගෙ බෝඩිමේ ඒ දවස්වල වඩේ පාටිත් දාලනෙ...
    ඔය කියන උපාසක මහත්තුරු දෙන්න මළාම මලුත් දැම්මද...? රතිඤ්ඤා පත්තු කොළේ නෑ...?

    ReplyDelete
  31. ඔන්න අද නම් මම කතාව මොකද්ද කියල හොයා ගත්ත. පඳුරු ටික වගේම කතාවත් මල් හතයි. හිනා කාල මැරෙනව. ........:D

    ReplyDelete
  32. දැනුත් මීටිමක ඔහොම කතා කලොත් මාර ගතියට තියෙයි නේද? කෝච්චි එලවන්න ආස නම් අර ම්යික්‍රොසොෆ්ට්ලගෙ ට්‍රේන් සිමියුලේටර් කියල එකක් තියෙන්නෙ ඒක ඉන්ස්ටෝල් කර ගන්නලා

    ReplyDelete
  33. අඩේ අප්පා... කතාවේ මුල ටික ඔහොම නම් ඉතුරු ටික කොහොම ඇද්ද?... හිකිස්...
    අන්තිමේදී චොප්පේ කාගෙන්වත් ගුටි කාලා ස්ටේජ් එකෙන් බැහැල ගියාය කියල එහෙම ආරංචියක් නැද්ද මාමේ? :)

    ReplyDelete
  34. ඔබා මාමා කවදහරි කෝච්චියක් එලවනවනං ඒක නවත්තගන්න හැටිත් දැනගෙන වැඩේ පටන් ගන්න.

    ඇත්තටම මොකක්ද අර වෙහෙර උඩ දිලිසෙන අහවල් එක.

    ReplyDelete
  35. ඔබා මාමා කෝච්චි එලවන දවසට දුම්රිය සේවාවෙත් අවසානේ තමා .....

    දැන් කාලේ ඉන්න පාතාලේ බුවාලට ඉගෙන ගන්න ෂෝක් ස්තුති කතාව ........

    ඒ කාලෙත් කොච්චර කුප්ප වැඩ කලත් අවසාන ගෞරවේ මල් එක්කම දීලා තියනවා නේ .......

    ReplyDelete
  36. ඔබා අයියගෙ ඉස්කෝලෙත් දැන ගත්තා අද. මාත් ගියේ ඔය කිට්‍ටු සුලෝහිත ඉස්කෝලෙකට හන්දා කැම්බල් පාක් එක මටත් හුරු පුරුදු තැනක්.
    ඔබා අයියා පෝස්ට් එක කොටන්නෙත් පඳුර වටේ තලල නිසා මේ කොමෙන්ට් එකත් ඒ විදියටම වැටිලා.
    මමත් අහලා තියෙන ඔය වගේම කතාවක් කියන්නද?

    එක තගෙක් මලාම ගුණ කථනය පවත්වන්න වෙලා තියෙන්නෙ අසරණ අසල්වැසියටලු. ඉතින් කොහොම හරි වඩෙත් කෙරෙන්න ඕනෙ නිසා, කල්පනා කරලා බලලා බලලා ඔන්න පැවැත්තුවලු මේ කතාව.

    'මේ මිය පරලොව ගිහින් ඉන්න විජේ අයියා හොරෙක්, මංකොල්ල කාරයෙක්, සූදු අන්තුවෙක්, බේබද්දෙක්, වංචාකාරයෙක්, ස්ත්‍රී දූශකයෙක්, මිනී මරුවෙක් වෙන්න පුලුවන්. නමුත්, විජේ අයියගෙ සහෝදරයා ගුණේ අයියත් එක්ක සංසන්දනය කරල බලන කොට , අපේ විජේ අයියා බෝදි සත්වයෙක්. ඉස්තුතියි.'
    henryblogwalker the Dude

    ReplyDelete
  37. ඒ කාලෙත් පැනල යද්දි වෙඩි කාල මැරෙන සීන් තිබිල නේ... දැන් නම් අහු වෙන අහු වෙන එකා එහෙමනේ.

    චොප්පෙ ගැන අහල තිබ්බට හොඳ විස්තරයක්... මොනව උනත් දැන් ඉන්න පිස්තෝල වීරයොන්ට වඩා නම් වැඩ කාරයො වෙන්න ඕනි...

    සිරා ටොල්ක් එක.

    ReplyDelete
  38. ඔබා = අතීතයේ කැඩපත.

    ReplyDelete
  39. නිර්ව්‍යාජ පුද්ගලයෙක්.... චොප්පෙ සම රිසි කියලා කොහොමෙයි දන්නෙ...

    ReplyDelete
  40. කතාව නම් අහල තියෙනවා....

    පස්ට තමා

    චොප්පෙ ගනන්කාරයෙක් උනාට මිනිස්සු මිනිහට ආදරය කරල තියෙනවා මයෙ හිතේ.
    ලඟකදී කොළඹ චන්දෙ දවස්වල් මම කෙනෙක්ගෙන් ඇහුවම ක්කටද මනාප දෙන්නෙ කියලා. ගත් කටටම කිව්වෙ චොප්පෙගෙ පුතාට තමා කියලා.
    ඔය ඔබා මාමා වගෙ වයසක උන්දැ කෙනෙක් ගෙන් තමා ඇහුවේ

    ReplyDelete
  41. සර්වෝදය සම රිසිකම promote කරන්නේ චොප්පෙ නිසාද දන්නේ නැහැ එහෙනම් !!

    ReplyDelete
  42. සුපිරි.

    ඔය චොප්පේ දුටුගැමුණු පරම්පරාවෙද?ඌ ආයෙ ඉපදිලාද කොහෙද?

    ReplyDelete
  43. හික්ස්.හොරා කියපු උන්ට කට උත්තර නැතිවෙන්නම දීලා නේද?මට ඔය කතාව කියෙව්වාම මතක් උනේ "ත්‍රී ඉඩියට්ස්" ‍ෆිල්ම් එකේ චතුර් රාමලිංගම් කරන කතාව

    ප/ලි
    අපේ සීයාගේ මල්ලි කෙනෙක් ඉදලා තියෙනවා මුංහේන පැත්තේ(හරියටම කිව්වොත් මග්ගොන කල්වාරිය හරියේ).නම රණේ(රණවීර).කරන තරමක් කරලා තියෙන්නේ නරුම වැඩ.ඒ පැත්තේ අය නම් දන්නවත් ඇති.

    පොරගේ යාලුවෙක් ඉදලා තියෙනවා විජයානන්ද දහනායක මහත්තයගේ මල්ලි කෙනෙක්.ඒ හයිය අරගෙන තමයි වැඩ පෙන්නලා තියෙන්නේ.මුන් දවසක් මුංහේන ඉස්ටේශන් එකේ නතරකරලා තිබුණ කෝච්චියක ඇණ ගලවලා.කෝච්චිය යන්න ලෑස්තිවෙලා ගාඩ් කොඩිය වනනකොට ඉස්සරහා පෙට්ටි ටික යනවලු,පිටිපස්සේ පෙටිටි ටික එහෙමමලු :D

    පොර ගමේ හිටිය හෙන චන්ඩියෙක්.මොන වලියක් තිබුනත් පොර කොහෙන් හරි ඒකට ගෑවෙනවලු

    අන්තිමේදි එයා මැරුනේ තරහා කාරයෙක් කඩුවකින් කපලා.

    ReplyDelete
  44. මාතලන්,

    කඳුලු ගෑස් ගැහැව්වෙ ගාමිණී දිසානායක මහත්තයට වෙන්න බෑ නේද? එයාට කලින්නෙ ප්‍රේමදාස මහත්තයා මලේ. ඔය ලලිත් ඇතුලත්මුදලි මහත්තයා ගැනද කියන්නෙ එතකොට.

    ReplyDelete
  45. මම අහල තියෙන විදියට කතාව මෙහෙමයි. චොප්පෙ කියන්නෙ කොයි තරමට මරදාන හොල්ලගෙන හිටපු චණ්ඩියෙක්ද කිව්වොත් (අද මරවින් සිල්වා වගේ) කවුරුත් හිතුවෙ මිනිහ පරාජය කරන්න බැරි (අර indomitable කියන්නෙ) කෙනෙක් හැටියටලු. නමුත් අන්තිමේදි චොප්පෙට වැඩේ දුන්නෙත් කොහෙද යන චූ කොල්ලෙක්ලු. චොප්පෙ අසනීප වෙලා ඉස්පිරිතාලෙ හිටිය කාලෙක වැසිකිළියට ගියපු වෙලාවෙ බෝම්බ ගහල මළාය කියලයි මගේ පළමුවැනි ශ්‍රේණියෙ සගය කිව්වෙ. ඒ කලින් life එකක වගේ මතක. හරිද නැද්ද දන්නෙ නෑ. බැඩ් පිට්ගෙ The Assassination of Jesse James by the Coward Robert Ford ෆිල්ම් එක ටිකක් මේ කතාවට සමානයි.

    ReplyDelete
  46. සික් විතරක් ඇනෝ.මර්වින් සිල්වත් චන්ඩියෙක්ද?
    එතකොට අපි කවුද?

    ඔබතුමා මර්වින් සිල්වට රූපවාහිනියෙදි ගෑණු ගහනහැටි දැක්කෙ නැතෙයි

    ReplyDelete
  47. //පොලිස් අත්අඩංගුවට ගත්තු බවත්, පොලිස් ජීප් එකෙන් පැනල යන්න ට්‍රයි කරද්දි වැටිල තුවාල වෙලා //
    //චොප්පෙ මුත්‍රා බොක්ක පුපුරල//

    යකෝ එතකොට ඌ ප*** දුවල තියෙන්නෙ ?

    @ ඇනෝ

    එතකොට සර්වෝදෙ අර "ගමන් මගේ සගයෝ" එක්ක එකතුවෙලා කරන්නෙ චොප්පෙ පටන්ගත්තු එකද බොලේ... අර බො‍රැල්ලෙ නගරෝදෙ පහුගිය කාලෙ තිබුනය කියල තුබුනෙ රහස් සාකඡාවකුත්...

    ReplyDelete
  48. @ බුද්ධි
    ඔබ හරි ඇතිලත්මුදලිගේ එකට ගාමිනි දිසානයකලත් අපහසු තාවයට පත් උනා එදා. මිනීයටත් පුදුම වදයක් දුන්නේ. ඒවා ඉතින් මෙලොඅ වශයෙන් පටිසන් දුන්නා..

    ReplyDelete
  49. හෙක් හෙක් හෙක් චොප්පෙගෙ කතාව තමා කතාව.. ලොල් :D

    ReplyDelete
  50. අඩේ චෝප්පෙත් මාර පොරක් නේ.අපිත් ස්තුතිකතාවක් කරන්න මේකෙන් ආදර්ශයක් ගන්න ඕන.ලොල් සගතයි

    ReplyDelete
  51. ලෙසටම ලියා ඇත. මාතලන්ගේ කොමෙන්ටුවද මසුරන්ය.

    ReplyDelete
  52. නියමයි..ඈස් යූෂුවල්! :)

    ReplyDelete
  53. අනිවාර්යෙන් කට්ටියම කට ඇරගෙන ඉද්දී චොප්පේ කතාව ඉවර කරන්න ඇති...

    ReplyDelete
  54. අපි ඉස්කෝලෙ යන කාලෙත් මරදානෙ චොප්පෙ කෙනෙක් හිටිය.

    ReplyDelete
  55. @ වර්ණා,
    පට පට ගානකොට බයත් හිතුන, තෑන්ක් යූ කොමෙන්ට් එකට.

    @ පොඩි කුමාරිහාමි,
    දැන් සංඝයා වහන්සෙලා සයිඩ් එකෙන් ඉන්නෙ නැහැනෙ.

    @ ගුලියා,
    දැන් කට්ටිය දියවන්නාවෙ

    @ ජේ.ඩී.
    වැඩියම හිනා වෙන්න එපා, බලාගෙන මහත් වෙයි...හෙහ්...හෙහ්

    @ ඊ මේල් කවිකාරි ,
    මම ඒ පැත්තේ හිටියේ 60 ගණන් වල. ඊ මේල් කවිකාරි කියන්නේ ඊට හුඟාක් පස්සේ කාලයක් ගැන වෙන්නැති නේද?

    @ Buddhi,
    //ඔන්න බුන්ට සීයගේ පඳුරු තැලිල්ල අදනං වැඩදායක වෙලා තියෙනවා//
    ඒ කියන්නෙ මෙච්චර කල් මගෙන් ඉගෙන ගත්ත ඉතිහාසෙ බොට වැඩක් වුනේ නැහැ එහෙනං.....

    @ මාතලන්,
    //එයාලට රැස්වෙන්න දියවන්නාවේ තැනක් තියෙන්වා. පන්සල් හදන්නේ අදත් ඒගොල්ලො තමයි//
    සැටිපිට් ට්රූ.

    @ Anonymous at 22:10 on 15/12/2011

    Thank you for the comment

    @ මධුරංග

    කොමෙන්ට් එකට සතුතියි , ආයේ මතක් වෙන ඒවා ලියන්නම්කො

    @ සහෝධරයා

    ඇත්ත කතාවක් කියලයි ආරංචි වුනේ...හෙහ්..හෙහ්...

    @ බස්සා

    තෑන්ක් යූ...කොමෙන්ට් එකට.

    ReplyDelete
  56. සෝමාවතියේ කොත පළන්දපු දවසේ ජේආර් කාරයා සිරිමා කියපු කතාවක් ගැන ඔහොම කතාවක් කළාය කියලා මං අහලා තියෙනවා!

    ReplyDelete
  57. අදනම් කියවන්න පරක්කු උනා හැබැයි පට්ට හිනා කන්තොරුවෙ එවුන් එක්ක කතාව කියෝ කියෝ තාමත් හිනා වෙනවා ඕන් ...

    ReplyDelete
  58. @ සාතන්,
    චොප්පෙ කියල තියෙන්නෙ 'අහවල් එක' කියන නෙමේ, සුද්ද සිංහලෙම්ම කිව්ව කියල තමා ආරංචිය.

    @ අසරණයා,
    ඔය සාතන්ට මේ දැන් දුන්නු උත්තරේ පොඩ්ඩක් බලන්නකො

    @ Sabith ,
    දැන් කට්ටියට ගිනි අවි සහ ගිනි කෙලි තියෙනවනෙ.

    @ වෙද මහත්මයා,
    චීන අඩි දැකල තියෙනවනන් තව එකක් මතක් කරන්නද? මතකද 'අඩිපුඩි' බෝලෙ ?

    @ kandyan
    කොමෙන්ට් එකටයි, තොරතුරු ටිකටයි ස්තුතියි

    @ ItalyDilan
    වැඩේ වුනේ පන්සලක හින්ද හිතුන එහෙම දාන්න...හික්ස්...

    @ Dinesh
    ඒ අවධියෙ , සුගතෙලට ප්‍රේමෙලට ඔය කතා ගාලක් නැහැ.

    @ ඕනයා,
    වෙන්නැති බන් මතක තිබ්බ විධියට ලිව්වෙ.

    @ ලොකු පුතා ,
    සැටිපිකේට් ට්රූ, මරන්න තියෙන්නෙ කියන කොට මං පොඩ්ඩක් අස්පෙට් ගියා, ඒ වුනාට දේශපාල සම්බන්දේ කිව්වම අස්පෙට් එක නැතුව ගියා.

    @ ගිම්හානි,
    අහම්බෙන් මේ කතාව මතක් වුනේ, තෑන්ක් යූ කොමෙන්ට් එකට.

    ReplyDelete
  59. @ විසිතුරු | visituru,
    ඔව් මං ගිය ඉස්කෝල හතකින් විතර එකක්.
    මරදාන පැත්තේ පරණ කට්ටියවත් තාම පොරව මතක් කරනව ඇති කියල හිතන්න පුලුහන්.

    @ ඔබ නොදු‍ටු ලොවක්.....
    ක්‍රම වෙනස් වුනාට, විදි එකම වගේ තමා...

    @ -බුදියා- ,
    එළවල නැති වුනාට, අඟුරු , කැනේඩියන් ඩීසල් සහ බ්‍රෂ් ඩීසල් එන්ජින් වල ලංකාවෙදිත්, electric එකක මෙහෙදිත්, යන්න චෑන්ස් එකනන් ලැබිල තියෙනව මට හිකිස්....

    @ මියුරු
    අ යි ඔබී ඉන්නකොට ලියන ඒවා ගතියක් නැහැ වගේද ?
    හපෝ අපි දාපු පාටි නෙමේ, දුන්න දේ කාල ඉන්න පාටි.
    රතිඤ්ඤා පත්තු කරන්නෙ සතුටටනෙ, මේකට හැමෝම දුක් වුනා කියලයි ආරංචි වුනේ, මුදලාලිල සතුටු වෙන්න ඇති, ඒ වුනාට එළිපිට පෙන්නන්න නැතුව ඇති.

    @ Enemy
    හෙහ්..හෙහ්...පරණ post වල කතාව තාම හොයනවද?

    @ ranjith
    ට්‍රේන් සිමියුලේටර් ඇහුවේ අදමයි, ප්ලේන් සිමියුලේටර් එක යාලුවෙක් ගාව තියෙනව. මං ඌට කිව්වෙ ඔටෝ පයිලට් දාල ලෝකෙ වටේම යං කියල.

    @ Ice (අයේෂා කුලතුංග)
    පික්ෂුද පොලිසියෙන් කනකල් චෝප්පෙල කාගෙන් වත් ගුටිකෑව කියල ආරංචියක් නැහැ.

    @ Praසන්ன
    අහවල් එක, චොප්පෙ කියල තියෙන්නෙ සුද්ද සිංහලෙන්, ඕනෙම කියල හිතුනොත් ඊමේල් ලිපිනය දෙන්න.

    @ පන්සල් හංදිය
    හිකිස්..කෝච්චි නොඑලෙව්වට දුම්රිය සේවෙ තමා දැනටත් වැඩ.

    @ දුදේ
    ඔය මං ගිය ඉස්කෝල හතකින් විතර එකක් විතරයි, ඩූඩ් ගෙ කතාවත් මරු.

    ReplyDelete
  60. @ නරකයා ,
    'ජය්ය' කියල අන්තිම පේළියෙ එක්කෙනෙක් තමා කිව්වෙ

    @ ඇනෝ [16 December 2011 10:14],
    සර්වෝදය ගැන ඒ කතාව ඇහුවෙ අදමයි, ලංකාවේ ප්‍රසිද්ධ රහසක් වත්ද ?

    @ ඉඳුනිල්
    අනේ මන්ද කැලණිය පැත්තෙ ඉන්නව කියල සමහරු කියන්නෙ.

    @ Rajith
    චොප්පෙ මැරුණෙත් පොඩි එකෙක්ගෙ කඩු පාරකින් කියල පහල කොමෙන්ට් වල දැක්ක.

    @ බුද්ධි
    තොරතුරු ලැබෙමින් පවතිනවා, පොඩියක් ඉවසන්න දරුව.

    @ ඇනෝ [ 16 December 2011 11:11 ]
    කඩුවකින් කොටල පොඩි කොල්ලෙක් චෝපපෙව මරපු කතාව තවත් කව්රු හරි පහල කොමෙන්ට් කරලා තිබ්බ, හරිම ඇත්ත මතු වෙන්න තාම ඉඩ තියෙනව.

    @ චන්ඩියා CRA ,
    හිකිස්...මේ මතු වෙන්නේ තවත් chandi...හෙහ්..හෙහ්..

    @ නවම්
    කොහෙද බං චොප්පෙ දිව්ව කියල තියෙන්නෙ?

    @ මාතලන් & බුද්ධි ,
    ගණන් ගන්න එපා, වලිග පිටින් අලි මැරෙන්නෙ කැලේ

    @ අවංක පැට්ටා
    චොප්පෙ කියන්නෙ 'වන් & ඔන්ලි' පොරක්....හෙහ්...හෙහ්...

    ReplyDelete
  61. @ KT ,
    අහල නුපුරුදු නමක් හින්ද ප්‍රොෆයිල් එක හරහ ගිහින් බ්ලොග් එක බැලුව. පටන් ගන්න ලියන්න, මගේ සුභ පැතුම්...!!!

    @ හසා,
    උඹේ බ්ලොගටත් ගිහින් බැලුව, පළවෙනි post දෙකට පස්සෙ මුකුත් නෑනෙ බං

    @ malithi
    බොක්කෙන්ම තෑන්ක් යූ.

    @ prasanna86k ,
    බලා ඉන්න තිබ්බ නන් කියල හිතෙනව

    @ මුහුදු කොල්ලකාරයා,
    බොරු ජෝතිල, බොරු චොප්පෙල, එහෙම ඔරිජිනල් කෙනාට පස්සෙ මතු වුනා කියල අහල තියෙනව

    @ කතන්දර Kathandara ,
    එකත් ප්‍රසිද්ධ රහසක් හැටියට සර්කියුලේට් වුනා මතකයි

    @ Loku John
    පුදුමයි, කන්තොරුවෙ ඕක අහල තියෙන කව්රුවත් හිටියෙ නැත්තං
    ඔය කතාව මේ ලිව්වට වඩා හුඟක් ලුණු ඇඹුල් ඇතුවයි, ඒ දවස් වල පැතිරුනේ , පුළුවන් තරං සැර අඩු කරල ලිව්වෙ.

    ReplyDelete
  62. නැ මෙ කන්තොරුවෙ ඉන්නෙ මමයි තව එක්කෙනයි ,, ඌ පොඩි එකෙක් හික් හික්

    ReplyDelete
  63. පිස්සු පීකුදු! කන් කුඩු!

    ReplyDelete
  64. @ ලොකු ජෝන්,
    ආ.. එහෙනං කමක් නැහැ.[ ලොකු ජෝන් බැරි වෙලාවත් චොප්පෙගේ මොඩ්ල් එකේ නෙමේ නේද, පොඩි එකා ගැන පව් කියල හිතුන ]

    මේක ලියද්දි මං හිතුවෙ, මේ කතාව අහල තියෙන කට්ටිය ඇති, නැවකට කියල.

    @ මිගාර,
    කියවල කොමෙන්ට් එකක් දැම්මට ස්තුතියි .

    දැන් සිංහල බ්ලොග් සීන් එකේ මම දැනුවත්ව ඉන්නව, ජ්‍යෝතිෂ කට්ටිය දෙන්නයි, වෙද මහත්මයෙකුයි, දොස්තර නෝන කෙනෙකුයි, දොස්තර මහත්වරු දෙන්නෙකුයි.

    අයි. ටී. කාරයො, එන්ජිනේරුවො, එහෙම පඳුරකට පයින් ගැහැව්වත් කීප දෙනෙක් වීසි වෙනව...හෙහ්...හෙහ්....

    [තාම මාළුකාරයො නන් දැනුවත්ව එකයි, ඌත් මේ දවස් වල ළඟ දූපත් සමූහෙක තියෙන මාළු වාඩියකට පිටිවහල් කොරල ඉන්නෙ]

    ReplyDelete
  65. පට්ට කතාව ඔබා අයියා . අන්තිම ටික බලලා හිනා වුණා නන්ස්ටොප් . එහෙම ස්තූති කතාවක් කල එකම එකා චොප්පේම වෙන්නැති .

    ඒ කාලේ පට්ට කතා කියලා අර ඉස්සර ෆිල්ම වල දැකපු යුගවලට අපිව සවාරියක් එක්කං යනවාට ඔහේට පින් සිද්ද වෙනවා ඔබා අයියා .

    ReplyDelete
  66. අප්පා හිනා වෙලාම පණ ගියා...කොච්චි එලවපු සීන් එකත් මරු..

    ReplyDelete
  67. හලෝ ඔබා.. ඔය චොප්පෙගෙ මිනියට ප්ලේන් එකකින් මල ඉහපු කතාව ඇත්තද? චොප්පෙගෙ කතාවක් මා ළඟත් තියෙනව. පුළුවන් වුනොත් කමෙන්ට් එකක් විදියට පසුව ලියන්නම්.

    ReplyDelete
  68. එල කථාව ඔබා අයියා..ඇයි පවුසි චන්ද්‍රිකාගේ කාලේ සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ මරදානට ගිහිල්ලත් ඔයවගේ කථාවක් කියලා තියෙනවලු....පොරට කියන්න ඔනේ වෙලා තියෙන්නේ ඒ පැත්තේ වැසියන්ට තියේන් මාතෘ සායනය ලොකුවට හදලා දෙන්න...

    පොර ඒක කියලා තියෙන්නේ මෙහෙමයි...

    මම මේ පැත්තේ ඉන්න වෙසියන්ගේ ලමයි හම්බුවෙන තැන ලොකු කරලා දෙනවා කියලයි//.

    ReplyDelete
  69. ලිපිය කියෙව්වා මර්දානෙ චොප්පෙ ලා කීප දෙනෙක් ඉන්ඩ ඇති මොකද ගිනි අවි සහ ගිනි කෙලි පොතේ චොප්පෙ කෙනෙක් ගැන සදහන් හැබැයි මිනිහා මැරුං කන්නෙ වෙඩි කාලා........ පොඩි කොල්ලෙක් ගෙන් ....
    ඒ වගේම අපේ තාත්තා මර්දාන ස. තො . ස කලමනාකරු හැටියට වැඩ කරපු කාලෙ තව චොප්පෙ කෙනෙකුට ෆේස් කොරලා තියනවා........

    ReplyDelete
  70. @ සඳරු,
    බොක්කෙන්ම ස්තුතියි, අගය කිරීම ගැන

    @ සයුරි,
    බලාගෙන වැඩිය හිනා වෙන්නෙ, ඕනෙවට වඩා මහත් වෙයි....හෙහ්...හෙහ්...

    @ මය්යා,
    හිකිස්...මාත් ඕක අහල තියෙනව ...කාගෙද කොමෙන්ට් එකකින් වගේ මතක, වෙන සයිට් එකක

    @ සමීර,
    ඔව්..වොව්.. බොරු චොප්පෙලත් ඉඳල තියෙනව පස්සෙ කාලෙක. ජෝතිපාල ඉන්න කාලෙත් වේරහැර ලංගම වැඩපලේ හිටිය 'බොරු ජෝති' කියල එකෙක්. හැම ප්‍රසිද්ධ චරිතෙටම වගේ අනුකාරකයො බිහි වෙනවමයි.
    ඉමිටේෂන් එල්විස් ප්‍රෙස්ලි ල කී දෙනෙක් බිහි වුනාද?

    ReplyDelete
  71. පට්ටයි...

    ඔය චොප්පෙගේ කතාව සම්පූර්ණයෙන්ම මම අහලා තියනවා පොලොන්නරුවෙදි. තම චොප්පේ සල්ලි එකතු කරපු හැටි ගැනත් රස සීන් තියනවා...

    ReplyDelete
  72. @ Janaranga Wijaindu Dewasurendra,
    ඒ කියන්නේ චොප්පෙ මරදානෙ වුනාට පොලොන්නරුව පැත්තෙත් ප්‍රසිද්ධයි.

    [ජනරංග ගෙ බ්ලොග් එකේ ලින්ක් එක දෙනවද කරුණාකරල, තෑන්ක්ස්]

    ReplyDelete
  73. @ nihalw,
    සොරි නිහාල් තව චුට්ටෙන් මිස් වෙන්න ගියෙ.

    කතාව ඇත්ත, ඒ කාලෙ ඒ වැඩේ වුනේ ඉහලම පැලැන්තියේ අයගෙ අවසන් කටයුතු වලදි විතරයි. චොප්පෙ, මදාවි සෝමෙ වගේ දාමරිකයො, [ඒ කාලෙ කියන්නෙ 'හැබිචෝල් කාරයො' කියල] කියල ප්‍රසිද්ධ අයගෙ අවසාන කටයුත්තකදි ඔය වැඩේ වුනේ පළවෙනි සහ සමහර විට අන්තිම වතාවවට වෙන්නැති.

    මං අහල තියෙන්නෙ, 'හැබිචෝල් කාරයො' කියන්නෙ හැබිචුවලි අපරාද වලට අහු වෙන, හැබිචුවලි හිරේ යන, කට්ටියට කියන නමක් කියල. සර්වේයර් ජෙනරල් කන්තෝරුවට 'සර්ව ජනෙල්' කන්තෝරුව, ෂොක් ඇබ්සෝබර් කියන එකට 'ෂොකට් ශෝබර්' එහෙම කියනව වගේ.

    ReplyDelete
  74. ඔබා මාමලා චොප්පේ එහෙම ආස්සරේ කොරපු පොරවල් නේද.. එල එල

    ReplyDelete
  75. ඒ කාලෙ වෙච්ච ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ රසකතාවක් කියලා දෙන්න ඉන්නෙ ඔබා අයියාම තමයි ඉතින්..

    ReplyDelete
  76. මීයගේ රෝදේ උඩට පහලට කර කවකව බැලුවා බැලුවා. ඔබා අයියා මගෙ කමෙන්ට් එකට විතරක් මොකුත් කියලා නැත්තෙ අමනාපෙන්වත්ද?

    henryblogwalker the Dude

    ReplyDelete
  77. හුටා..... ඔබා මාමා පාතාලයෙන් බස්සලා...... මොනව වුනත් අර සඳරුවා කීවා වගේ මටත් සීන් එක පෙනුනේ කළු සුදු බයිස්කෝප් එකක් ගානට...... මරු ඔබා මාමා....

    ReplyDelete
  78. @මියුරු:
    ඔයාට හොඳටම සුවර්ද ඔබාගෙ "වඩේ පාටි" ගැන ???

    ප.ලි.
    //[තාම මාළුකාරයො නන් දැනුවත්ව එකයි, ඌත් මේ දවස් වල ළඟ දූපත් සමූහෙක තියෙන මාළු වාඩියකට පිටිවහල් කොරල ඉන්නෙ]//

    පල ඩෝ යන්න

    ප.ප.ලි.
    Janaranga Wijaindu Dewasurendra ගෙ බ්ලොග් එකට මෙතනින් යන්න

    ReplyDelete
  79. @ ජීනියස්,
    හෙහ්..හෙහ්..ආශ්‍රය කොලේ නං නෑ, පොර ගැන අහල තියෙනව විතරයි, ආරංචියෙ හැටියට ජය්යගෙ මොඩ්ල් පොරක් ලු.

    @ Weni,
    ගජබින්න අලංකාරය අලුතින් ලියන්න යන්නෙ හෙහ්...හෙහ්...

    @ ගොඩයා,
    ඒ කාලෙ කළු සුදු විතරයි තිබ්බෙ, ඉස්සෙල්ලම ආව පාට පාට සිංහළ චිත්‍රපටිය මට මතක විදියට 'රන් මුතු දූව'

    @ ඕනයා,
    පල යන්ඩ කිව්වට කොහෙ යන්ඩද බං හදා ගත්ත පැල දාල?
    තෑන්ක් යූ ලින්ක් එකට.


    @ Dude,
    වැරදි මීයගෙ බෝලෙ කරකොවන්ඩ ඇත්තෙ...
    හොදට බැලුවනං DUDE කියන එක වැරදීමකින් 'දුදේ' කියල වැදිල පිළිතුරක් ඇති, සොරි වැරදීම මගෙ.

    ReplyDelete
  80. අම්මෝ... ත්‍රීවීල් දෙකක එන්න උනා කොමෙන්ට් ටිකත් කියවගෙන. චොප්පේ කියන්නේ සිරාම චන්ඩියෙක්... එකනේ මැරුණත් අදටත් නම තියෙන්නේ. ඔය පතෝලයෝ වම්බට්ටෝ වගේ නෙවෙයි නේ. අදනම් තැලිල්ල ෆට්ටයි.. ගොඩක් දේවල් මෙමරියට දාගත්තා. එතකොට සර්වෝදය ලොක්කා මේ සම රිසි කමේ යන්නේ චොප්පේ එක්ක ඉඳල පුරුද්දටද? අය්යෝ..

    ReplyDelete
  81. නියම ඉතිහාස කතාව අයියෙ..

    අර පඳුර වටේ බාගෙට කොටල තියන ඒවයෙ ඉතුරු ටික කොටන්නෙ අපිද...

    ReplyDelete
  82. ඔය චොප්පෙගේ තියෙනව මාර කතා සෙට් එකක්,
    දවසක් චොප්පෙ S.I. කෙනෙක්ගෙ පුතෙක්ට පු* **ල නඩුවට උසාවි දැම්මහම, ඒකියන්නෙ අර බංකුවෙ වාඩි වෙලා ඉන්නකොට නඩුකාරයා ආවලු, එතකොට චොප්පෙව දැක්ක ගමන් ඇහුවලු "චොප්පෙ වට්ස් ද කේස්"
    "යස් සර් මේ පුක් කේස්"
    චොප්පෙ කිව්වලු.

    ReplyDelete
  83. @ ක්සැන්ඩර් | Xander,
    'සර්වෝදය' ලොක්ක ගැන පළවෙනි වතාවට ඔය කතා ඇහුවෙ නං මේ පෝස්ට් එකට වැටුණු කොමෙන්ට් කීපෙකින්, මං දැනන් උන්නෙම නැති පැත්තක් ඒක

    @ ලකී,
    මොනාද බාගෙට කොටල කිව්වෙ? පොඩි හින්ට් එකක් කොමෙන්ට් එකකින් වත් දුන්නොත් දන්න හරියවත් අඩු ගානෙ කියන්න ට්‍රයි එකක් දෙන්නං

    @ uwiniran,
    ඒ කතාව පළවෙනි වතාවට ඇහුවෙ...හික්ස්....

    ReplyDelete
  84. මම තවම අර No Standing පොස්ට් එකේ කතාව හොයනවා..ආ අර kiss and Ride ...ඒක ලිව්වද..පොඩ්ඩක් ඉන්න, ආයෙත් ගිහින් බලල එන්නම්. :D

    ReplyDelete
  85. @ ලකී,
    ඒ දෙක මටත් අමතක වෙලා තිබ්බෙ, මතක් කල එක හොඳයි, හෙට අනිද්දම ලියල දාන්නං...

    ReplyDelete
  86. වඩේ පාටිය . . .

    දුන්නෙ පදුරු වඩේ ද?

    ReplyDelete
  87. @ මිගාර,
    හෙහ්....හෙහ්....


    [අන්න මිගාර ගැනම ආර්ටිකල් එකක් දාල තියෙනව 'ඇනෝනිමස් ආතල්' සයිට් එකේ]

    ReplyDelete
  88. ඩූඩ් ට විතරක් ය... මටත් උත්තර නෑනේ බොල...

    ReplyDelete
  89. @ පිස්සා,
    උඹව නං ඇත්තටම මිස් වෙලා, මං ඒත් හිතුව මොකද 'පිස්ස' මේ පෝස්ට් එකට කොමෙන්ට් එකක් දාල නැත්තෙ කියලත්. බොක්කෙන්ම සොරි.

    Dude ගෙ පිළිතුර 'දුදේ' කියල ආමන්ත්‍රනේ වෙලානේ, වයසක මනුස්පයට වැඩියම සිංහල බෑ, ඒ නිසා මිස් වෙන්න ඇති පොරට, ඇස් පෙනීමත් කොහොමද හරියට කියන්න අමාරුයි.
    පහලින් තියෙන්නේ Dude ට දුන්න උත්තරේ කොපි, පේස්ට්, පාරක්.

    @ දුදේ
    ඔය මං ගිය ඉස්කෝල හතකින් විතර එකක් විතරයි, ඩූඩ් ගෙ කතාවත් මරු.
    16 December 2011 16:37

    ReplyDelete
  90. @ එදිරි,
    ඇවිල්ල, කියවල, කොමෙන්ට් එකකුත් දැම්මට, බෙහෙවින් තුති.

    ReplyDelete
  91. කුප්පියාවත්ත පන්සල් භූමියේදී සිදු කල එම ඓතිහාසික කතාව වෙනුවෙන් චොප්පේ මැතිතුමාට දේශ බන්දු දේශ කිර්ති සාම විනිසුරු ආචාර්ය යන ගරු නම්බු නාම සියල්ල සමග ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් ලබාදෙන මෙන් ගව්රවයෙන් ඉල්ලා සිටිමි

    ReplyDelete
  92. රෙප් මහත්තයාගෙන් අවසරයි,
    'ෂයිඩ් එකෙන් ඉන්න බ්ලොග් කියවන්නන්ගෙන් සහ අනිත් ෂයිඩ් එකෙන් ඉන්න බ්ලොග් ලියන්නන්ගෙන් අවසරයි, මං ඒ යෝජනාව ස්ථිර කොරන්න කැමතියි'

    ReplyDelete
  93. "ඒ කාලේ, චන්ද අපේක්ෂකයන්ට එක චන්ද කොට්ටාසෙකට වැඩිය චන්දෙ ඉල්ලන්නත් අවසර තිබුන. මට මතක හැටියට ආර්. එස්. පෙරේරා, ජේ. ආර්. ජයවර්ධන කියන මංත්‍රීවරු චන්ද කොට්ඨාස දෙකක් නියෝජනේ කරපු කාලයක් තිබුන. මම කියල තියෙන කරුණු, සහ නම් ගම්, වැරදි නං දන්න කෙනෙක් මාව නිවැරදි කලොත් ස්තුතිවන්ත වෙනව."

    ඔන්න ඔය කොටස ගැන කියපුවාම මතක් උනේ... ආර් ජී සේනානායක නේද ආසන ආසණ දෙකක් නියෝජනය කලේ..ආසන දෙකනං මට හරියටම මතක නැහැ... දඹදෙණිය..දැදිගම හා කැළණිය කියන තැන් තුනම මතකයට එනවා..ඒත් ටැපලෙනවා... පාර්ලිමේන්තුවේදී අත් දෙකම උස්සලා ජන්දේ දෙන්න පුළුවන් වීම තමා ඕකේ හොඳම හරිය..අනිත් එක අළුත් පාර්ලිමේන්තුවේ නෙවෙයි පරණ පාර්ලිමේන්තුව පවතින කාලයේ තමා ඔය ෂීන් එක තිබ්බෙත් මගේ මතකේ හැටියට...

    අන්තිම කතාව ගැනනං කියන්න වදන් නැත...

    ReplyDelete
  94. මෑත කාලෙදී ඔහොම මල් විසිරිල්ලක් කලා, සනත් ජයසූරියගේ මාතර පාසලේ ක්‍රිකට් ගුරුතුමාගේ අවමංගල අවස්තාවේදී, ඒක තිබුනේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාපිටියේ,මෑත කාලේ කිව්වට ඉතින් දැන් අවුරුදු 5ක් 6ක් හෝ ඊටත් වැඩි ඇති .

    ReplyDelete
  95. @ මාරයා,
    ආර්. එස්. පෙරේරා කැලනියයි, තිරිකුනාමලේ වගේ චන්ද කොට්ටාස දෙකක්, ආර්.ජී. සේනානායක දඹදෙනියයි තව කොහේ හරියි වගේ යාන්තමට මතකයි. [තරංග කලාට දිනුවද ෂුවර් එකක් නෑ]ජේ. ආර්. ලොක්කත් ඉස්සර කොහේ හරි ආසන දෙකකටම තරඟ කළා යාන්තමට මතකයි. එතනත් දෙකම දිනුවද නැද්ද කියන එක නං ෂුවර් නෑ.
    චොප්පෙ පවත්වපු කතාවත් වචනෙන් වචනෙටම නැතත්, 'සයිඩ් එකෙන්' - 'කකුල් ' - 'සංඝයා' - කියන වචන භාවිතා කල බවත්, ප්‍රේමෙට, සුගතෙට, ඒ විදියට තමා කොහොමත් කතා කලේ කියන එකත් ඒ කාලෙ කවුරුත් කියපු දෙයක්.

    @ widanarala
    සනත් ජයසුරිය සමහර විට වියදම දරන්න ඇති තමන්ගෙ ගුරුවරය නිසා, පොරට සල්ලි බාගෙත් නැති කෙනෙක් නෙමේනෙ.

    ReplyDelete
  96. සුපිරි කතාවක්...හිහිහි..හිහි....!!!

    ReplyDelete
  97. මේ කතාව අදයි දැක්කෙ!

    ආරියරත්න ලොක්කගෙ කතාව ඇත්තම එකක්. ගුලි ලියපු "දෙල්ගහයට විප්ලවය" කියන ආරියරත්නගෙ ජීවිත කතාවෙත් ඕක තීනව මිනිහගෙ වචනවලින්ම. ඔය නාලන්දෙ සර්ල වගයක්ලු චොප්පෙට ක්න්ට්‍රැක්ට් එක දීල තීන්නෙ. මොකද ආරිඅරත්නගෙ ඔෆිස් එකත් තිබ්බෙ මරදානෙම නිසා.

    චොප්පෙගෙ කතාවෙ අග ටිකක් වෙනස්. "මුන් කිව්වලු මේ ආධාර එකතුකරන්නෙ චූඩ මාණික්‍යකට නෙමෙයි ඕකත් චොප්පෙගෙ මොත්තයක් තමයි කියල. මං උන්ගෙන් අහන්න කැමතියි අර උඩ බැබලෙන්නෙ චොප්පෙගෙ මොත්තෙද අම්මගෙ හුxxxද කියල"

    ReplyDelete
  98. මාතලං,

    යකෝ බොරු කියන්න එපා! මමත් ඔය ඇතුළත්මුදලාලිගෙ මලගෙදර ගියා. ඒ වෙලාවෙ උඩ කැරකිච්ච පොඩි සෙස්නා ප්ලේන් එකකින් කඳුළු ගෑස් ගැහුව කියල කිව්වට ගහපු බව දැක්ක එකෙක් නෑ. හැබැයි ඒ වෙනකොට මුළු ෆ්ලව රෝඩ් එකයි බෞද්ධාලෝකපාර පුරාමයි හිටපු පොලිස් කුළුපොලු කාරයො හතර අතට පිස්සො වගේ කඳුළු ගෑස් ගැහුව. මට මතකයි සමස්ථලංකා බෞද්ධ කාන්තා සම්මෙලනේ උඩ ඉඳන් ඇන්ටිල වතුර බේසම් පුරෝල පාරට විසිකරා. මම ඇස් තෙමාගත්තෙ අගවිණිසුරුගෙ ගෙදරට පැනල වත්තෙ පයිප්පෙකින්. ඊට එහා පැත්තෙ බුද්ධි අංශ බිල්ඩිමේ ප්‍රේමෙ මේසයක් යට ඉඳන් පෙරහර බැළුව කියල කට කතාවක් ගියන් නිසා එතනදි මිනිස්සු හොඳටම හූ කිව්ව, පොළිසිය එක්ක ගහ ගත්ත. අන්තිමට කනත්තෙ ගේට්ටුව වැහුවම මහ කළුගල් තාප්පෙ පෙරළගෙන මිනිස්සු ඇතුලට ගියෙ.
    ඔය සීන් එකෙන් පස්සෙ ත්‍රිශූලෙ පත්තරේ දාල තිබ්බ "මලගෙදරට ආ ඇත්තෝ ඇල්ලේගෙ වල්ල ගලවං යති!" කියල. පස්සෙ විස්තරේ තිබ්බ කවුද එකෙක් අර බීඑමයි සී එච් එක ඉස්සරහ ඇල්ලේ ගුණවංස හාමුදුරුවන්ගෙ පංසලේ තැඹිලි වල්ලකුත් ඒ අස්සෙ බාගෙනලු!
    ප්ලේන් වලින් කඳුලු ගෑ ගහන්න බෑ. මොකද වාතයට වඩා බර අඩු නිසා උඩට යනව මිස යට එන්නෙ නෑ. අනික උඩින් එන ගෑස් කෑන් එකක් කාගෙ හරි ඔලුවකට වැටුනොත් අනිව මැරෙනව ( ප්‍රේමයට ඒ වෙලාවෙ තව උන් මරන්න උවමනාවෙලා තිබ්බෙ නෑ ). දැං මං ඉන්න රටේ කඳුළු ගෑ ගහනව නිකං මදුරු දුන් ගහනවට වැඩිය. කිළෝමීටර් ගනං ඈත් ඉන්න උන්ටත් සැර යනව, විශේශයෙන්ම උඩ තට්ටුවලට. මුන් ඒකට නියම උත්තරයක් හොයන් ඉන්නෙ. දෙහි මූනෙ ගෑවම ඉෆෙක්ට් එක අඩුයිලු!

    ReplyDelete
  99. සිරා කතාවක් ද බොල.. අදමයි මේ පැත්තේ ආවේ.. එල වගේ..

    ජය ශ්‍රී !

    ReplyDelete
  100. මම නම් මේ ආවමයි මෙහේ.. මට නම් තාම හිනා.

    කමෙන්ට් ටිකත් කියවල බලමු කෝ

    ReplyDelete
  101. තෑන්ක් යූ, මේ පැත්තෙ ගොඩ වුනාට.
    [මම කවි කියවන්න ටිකක් හොරයි, ඒ නිසයි දුවගෙ බ්ලොග් එක පැත්තෙ වැඩිය නොඑන්නෙ]

    ReplyDelete
  102. @ සිංහයා,
    දැනුයි දැක්කෙ කොමෙන්ට් දෙක, ඔය දීල තියෙන්නෙ සෑහෙන ඉතිහාස විස්තර ටිකක්. තෑන්ක් යූ.

    ReplyDelete
  103. Sam ,
    සමාවෙන්න ඕනේ කඩේ වහන්න යද්දි දැක්කෙ කොමෙන්ට් එක, බොක්කෙන්ම තෑන්ක් යූ මේ පැත්තෙත් ආවට.
    සෑම් බ්ලොග් එකක් ලියනව නං ඒකෙ ලින්ක් එක ඊමේල් කරනවද, ප්‍රොෆයිල් එක හරහ හොයන්න බැලුව, හම්බ වුනේ නෑ.

    ReplyDelete
  104. ඔබා අය්ය ගැන හෙන්රියා (DUDE) නිතරම කියනවා. උගෙ පොස්ට්වල දාපු කොමෙන්ට් කියවලා තියෙනවා. අද තමයි බ්ලොග් එකට ගොඩ උනේ.

    හෙන්රියා මාත් එක්ක එක වහල යට ඉගෙන ගත්තේ. ඌ මට වඩා අවුරුද්දක් දෙකක් පහලින් හිටියේ. ඉස්කෝලෙ යන කාලේ චොප්පයා ගැන කතා ගොඩක් ඇහුවා මතකයි.

    මට නමේ පන්තියෙදි සිංහල ඉගැන්නුවේ ඒ. ටී. ආරියරත්න සර්. දෙන්නම ගැන මතකය අවදි කළාට ඔබා අය්යට ස්තුතියි!

    ReplyDelete
  105. පමාවට සමාව....

    දැන් කොයි කාලෙද කෝච්චියක් එළවන්න කියලා ඉන්නේ??

    ReplyDelete
  106. මදෑ කෝච්චි එලෙවුවා :D

    ReplyDelete
  107. අදයි මේපැත්තට ගොඩවුනේ...
    හිකිස්...දැන් එයාගෙ නෑදෑ කෙනෙක්ද දන්නෑ කැලණියෙ ඉන්නෙ....
    මරු කතාව ඔබා මාමේ...බඩක් කොරවුනා හිනාවෙලා......

    ReplyDelete
  108. කව්ද ඕයි තමුසෙට ඔච්චර බොරු කියන්න උගන්නපු එකා? චොප්පෙ මළේ පොලීසියෙන් ගහල නෙමේ. ඒ කේස් එකේදි චොප්පෙ පැනල බේරුනා. චොප්පෙ අය්ය මළේ නිදාගෙන ඉන්නකොට බෙල්ලට පිහියෙන් ඇනල. අනිත් එක චොප්පෙ මැරිල ටිකදවසකින් ඔයා මදාවි සෝමෙගෙ මලගේ දකින්නෙ කෝමද? මදවි මළේ චොප්පෙට ගොඩක් ඉස්සෙල්ලනෙ. අනික චොප්පෙට දැම්මට මදාවිට හෙලිකොප්ටරෙන් මල්දැම්මෙත්නෑ. එහෙම හැමෝටම සලකන විදියට නෙමේ චොප්පෙට සැලකුවෙ.තමුසෙලමේ දන්නව වගේ හෙන ටොම්පචනෙ ඇදබාන්නෙ

    ReplyDelete