අපේ තාත්තගෙ ගම මාබෝදලෙ.
දිවුලපිටියෙ ඉඳල නයිවල හරහා උඩුගම්පොල පැත්තට එන පාරෙ, මැදගම්පිටිය කියන
හන්දියෙන් හැරිල යනකොට හමුවෙන ගමක් මාබෝදලෙ. තාත්ත පොඩි
කාලෙ, ඒ කියන්නෙ 1925 ටත් ඉස්සර කාලෙ, මාබෝදලෙට කිට්ටුම ඉංග්‍රීසි
උගන්න ඉස්කෝලෙ තිබිල තියෙන්නෙ උඩුගම්පොල. තාත්තලගෙ ගෙදර ඉඳල, දැන් උඩුගම්පොල 'මධ්‍ය මහා විද්‍යාලය'
නමින් හැඳින්වෙන ඒ කාලෙ 'ආණ්ඩුවේ ඉස්කෝලෙ'
කියපු පාසලට, හැතැම්ම
දහයක් විතර දුරක්. ඒ කියන්නෙ, කි.මී. 16 ක් විතර. අපේ තාත්තට
ඉංග්‍රීසි උගන්නන්න, සීයට තිබුන උනන්දුව නිසා,
තාත්තව ඒ ඉස්කෝලෙට ඇතුල් කරන්න
ඇති.
ඒ පාරෙ බස් ධාවනය වුනේ
නැති හින්දද, මුදල් නොතිබුන නිසාද, දන්නෙ නැහැ, තාත්ත ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ
පයින්. හැබැයි මට මතකයි තාත්ත කියනව, සීය හැමදාම තුට්ටුවක් දුන්න, ඒකෙන් මග කඩේකින් ආප්ප දෙකක් කාල තේ එකක් බොනව කියල. දැන්නම් තාත්තගෙන් අහන්න ප්‍රශ්න කෙළවරක්
නැහැ, ඒ කාලෙ ගැන. ඒව අහන්න
තාත්ත දැන් ජීවතුන් අතර නැහැ. අවුරුදු 90 කට ආසන්න කාලයක් ජීවත් වෙලා දැනට අවුරුද දහයකට විතර ඉස්සර ජීවිතෙන් සමු
ගන්නකම්, තාත්ත නිරෝගීව හිටිය, අන්තිමම කාලෙ ඇරෙන්න. කොල්ල කාලෙ
දවසකට ඇවිදපු දුරම හේතු වෙන්න ඇති ඒ නිරෝගී කමට. අවසාන කාලෙ වෙනකොට ළඟ අතීතය අමතක වෙන
ගතියක් තිබුන, හැබැයි ඈත අතීතය හොඳට මතක තිබුන.
එක වතාවක් අපිත් එක්ක ඕස්ට්‍රේලියාවේ ටික කාලයක් ගත කරල, මාත් එක්ක ලංකාවට යන අතරෙ ගුවන් යානයේදී හමුවුනා තාත්තට වඩා
වයසින් අඩු දෙමළ මනුස්සයෙක්. කතා බහ කොරන වෙලාවෙ හෙළි වුනා, එයත් දුම්රිය
දෙපාර්තමේන්තුවෙ වැඩ කල විශ්‍රාමිකයෙක් කියල. එයාගෙ නම කිව්වම තාත්තට මතක
තිබුන ඒ මනුස්සය
දෙපාර්තමේන්තුවට බැඳුන අවුරුද්ද විතරක් නෙමේ, ඒ මනුස්සයගෙ සමකාලීනයන්ගේ නම් පවා.
තාත්තගෙ ගමේ, තාත්තගෙ වයසෙ, ඉංග්‍රීසි උගත් අය ඉන්න
ඇත්තෙ ඉතාම සුළු පිරිසක්. අපි පොඩි කාලෙ ගමේ ගියාම, මට මතක විධියට ජයතිලක තැපැල් මහත්තයයි, තව මෝට බයිසිකලේකින්
ගමන් ගිය එක්කෙනෙකුයි, විතරයි කලිසන් අඳින අය
දකින්න ලැබුනෙ. ඒ දෙන්නත් තාත්තට වඩා සෑහෙන්න බාලයි. ආ... මට කියන්න අමතක
වුනා ඒ කාලෙ සාමාන්‍යයෙන්
කලිසන් ඇන්දෙ, රාජකාරිය නිසා නිල ඇඳුමට
කලිසම් ඇන්ද, ඉංග්‍රීසි නුගත් ටික දෙනෙක් හැර,
ඉංග්‍රීසි උගත් අය
විතරමයි වගේ. මේ ටික කිව්වෙ ඒ කාලෙ වාතාවරණය පැහැදිලි කරන්න විනා, ඉංග්‍රීසි උගත්, නුගත්, කමින් මනුස්සයන්ව උස් හෝ
පාත් කරන්න නෙමේ.
අපේ අම්මගෙ ගම රත්නපුරේ,
එයත් ඉංග්‍රීසි ඉගෙනගත්ත
කෙනෙක්. අම්ම කියනව මට මතකයි, එයාලගෙ ඉස්කෝලෙ සිංහල කතාකරල අහු වුනොත් සතයක් දඩ ගහනව කියල. ඉංග්‍රීසි පීරියඩ් එකේ විතරද,
මුළු ඉස්කෝලෙ වෙලාවෙද
කියන්න නං දන්නෙ නැහැ. පසු කාලෙක කොළඹ ශාන්ත බ්‍රිජට් බාලිකා පාසැලේ ඉගෙනගත්ත සිරිමා
බණ්ඩාරනායක මැතිනියත්, ඊට ඉස්සෙල්ල ගිහින්
තියෙන්නෙ, අපේ අම්ම ඉගෙන ගත්ත රත්නපුරේ
පාසැලටමයි. තුට්ටුවෙයි, සතයෙයි, වෙනසටත් කියන්න තියෙන්නෙ, අපේ අම්ම තාත්තට වඩා
අවුරුදු දහයකටත් වැඩිය, වයසෙන් අඩුයි කියන එක විතරයි. වැඩි විස්තර
අහන්න අම්මත් ජීවතුන් අතර නැහැ. අපි ඕස්ට්‍රේලියාවේ පදිංචියට
එන්න ටික කාලෙකට ඉස්සෙල්ල අම්මත් මේ ලෝකෙ අත
ඇරල ගියා. මාබෝදලෙ තාත්ත,
රත්නපුරේ අම්මව, හමුවුන විධිය පස්සෙ දවසක,
වෙන පෝස්ට් එකකින්
කියන්නම්.
පනස් ගණන් වල අග භාගේ
වෙන කොට තිබුන ආණ්ඩුව නිල වශයෙන් රාජ්‍ය භාෂාව 'සිංහල' බවට ප්‍රකාශයට පත් කරල තියෙනව. එයින් පස්සෙ ආණ්ඩුවෙ ඉස්කෝල වල ඉංග්‍රීසි
ඉගැන්වීමට තිබුන උනන්දුව අඩු වුනා කියල තමා අහල තියෙන්නෙ. අම්මයි තාත්තයි දෙන්නම ඉංග්‍රීසි ඉගෙන ගත්තට, දරුවන්ට උගන්නන්න
අවස්තාව අඩුයි කියල එයාලට හිතෙන්න ඇති. ඒ කාලෙ මොන්ටිසෝරි කියල ජාතියක්
තිබුන බවක් මට මතක නැහැ. අපි ඒ කාලෙ පදිංචි වෙලා හිටියෙ ගම්පහ,
පල්ලිය පාරෙ. අපේ ගෙවල්
කිට්ටුව තිබුන ආණ්ඩුවෙ ඉස්කෝලයක්. වහලට පොල් අතු සෙවිලි කරල
තිබුන හින්ද ඒකට කිව්වෙ 'පොල් අතු ඉස්කෝලෙ'
කියල. මාව ඉස්සෙල්ලම හෝඩියෙ
පන්තියට ඇතුල් කලේ, ඒ ඉස්කෝලෙට.
අපේ තාත්තට, උඩුගම්පොල ආණ්ඩුවෙ පාසැලේ ඉංග්‍රීසි උගන්නල තියෙන්නෙ චාල්ස් සමරසූරිය කියල
මහත්තයෙක්. එයා විශ්‍රාම ගියාට පස්සෙ, ගම්පහ විජය පාරෙ, එයාගෙ ගෙදර 'ආනන්ද විද්‍යාලය'
නමින් පුද්ගලික පාසලක් පවත්වගෙන ගියා. ඉස්කෝලෙ ඔෆිස් එක ගෙදර ඉස්තෝප්පු කාමරේ. පන්ති පැවත්තුනේ ගේ
පිටිපස්සෙ විසාල ඉඩමෙ, 'L' අකුරේ හැඩයට හදල තිබුන
ටකරන් වහලයක් සහ කොට බිත්ති තිබුන බිල්ඩිමක. හෝඩියෙ පන්තියෙන් පස්සෙ
මාව යැව්වෙ, ආනන්ද විද්‍යාලෙට. උඩහ ගෙදර
පාලිත අයියයි, රවීන්ද්‍ර මල්ලියි,
පහල ගෙදර කීර්තියි,
මායි, අපි කට්ටියම ගියේ
ආනන්දෙට. කීර්තිගෙ තාත්තට ඒ කාලෙ අලුත්ම 'ෆෝල්ක්ස්වාගන්' කාර් එකක් තිබුන. හුඟාක්
දවසට කීර්තිගෙ තාත්ත, වික්‍රමාරච්චි අන්කල් තමා අපිව උදේට කාර් එකේ
ඉස්කෝලෙ එක්කං ගියේ.
මට යාන්තං මතකයි කාර්
ගණන් යනව කියල [ආනයන බදු වැඩි කරනවා වගේ
සීන් එකක් වෙන්නැති] වික්‍රමාරච්චි අන්කල් හදිසියෙම
ෆෝල්ක්ස්වාගන් එක අලුතෙන්ම රු/= 3000 කට ගෙනාව කියල වැඩිහිටියො
කතාවෙනව. මගෙ කැල්කියුලේෂන් හරි නං 58-59 විතර කාලෙ. ඔය කතා හොරෙන් අහගෙන ඉන්න ඇත්තෙ මං, අපිට තහනම් වැඩිහිටියො
කතා බහ කරන තැන අහගෙන ඉන්න ඒ
කාලෙ.
පාලිත අය්යගෙ, චුටියගෙ[රවීන්ද්‍ර],
කීර්තියගෙ, තව අසල්වැසි හරීන්ද්‍රයගෙ, කථා මතක් වෙනව. වෙනම බ්ලොග් එකක් ලියන්න තරං, ඒව පස්සට දාල දැන් කියාගෙන යන
කතාව කියල ඉන්නං.
තුනේ පන්තියට යනකන් මං
ඉගෙන ගත්තෙ ගම්පහ ආනන්දෙ. ඒ කාලෙ වුනත් සෑහෙන්න අමාරුවෙන්, හතරෙ පන්තියට අහිංසක මාවයි, ඉස්සෙල්ල නම සඳහන්
කරන්න අමතක වුන පරාක්‍රමයවයි, දැම්මෙ නැතෑ කොළඹ
ඉස්කෝලෙකට. ඉස්කෝලෙට දැම්ම විතරක් නෙමේ, පාසැල් ජීවිතේ සෑහෙන කාලයක් හොස්ටල් එකේ.
හොස්ටල් එකේ කාලයක් ඉඳල, සෑහෙන්න
කට්ට කෑවට පස්සෙ තමා කෝච්චියෙ යන්න වරං ලැබුනෙ. කොල්ල නරක්
වුනා කියල හෙම කවුරු හරි කියනව නං, අදටත්
කියන්නනම් හරියට ලෝකෙ මොන වගේද කියල දැනගන්න පටන් ගත්තෙ
කෝච්චි සීන් ඒකට
බැස්සට පස්සෙ තමා. ඒ විස්තර පසුවට. කියන්න ආපු කතාව නෙමේනෙ
කියන්නෙ, නවම්
මාවත ලඟදි කොමෙන්ට් එකක්
දාල තිබ්බ මම පඳුර වටේ
තලනව කියල.
තව පොඩ්ඩෙන් කොළඹ ඉස්කෝලෙ ගැන කියන්න අමතක වෙනව. ඒක තිබ්බෙ
කින්සි පාරෙ, මෙඩිකල් කොලේජ් එකේ පිරිමි හොස්ටල් එකටයි, මෝචරියටයි
අල්ලපු වැටේ, යසෝධරාද මොකද්ද කියල ගෑල්ලමයින්ගේ ඉස්කොලෙකුත් ළඟ පාත තිබුන. ඉස්කෝලෙ බැප්ටිස්ට් මීසමට අයත් එකක්. මාව ඒකට ගත්තෙත්, අම්මටත් රත්නපුරේදි උගන්නල තිබුන, ඒ
කාලෙ වෙනකොට ප්‍රින්සිපල්, රෙවරන්ට් ඩබ්ලිව්. ජී. වික්‍රමසිංහ. දැන් බලනකොට මං මුලින්ම ගිය ඉස්කෝල දෙකේම ප්‍රින්සිපල්ල
අම්මටයි, තාත්තටයි, උගන්නල තියෙන අය.
පහු කාලෙක මාත් St. බණ්ඩාරනායක එකකටත් ඉස්කෝලෙ ගියා, ඒ විස්තරෙත් පස්සෙ කියන්නන්. කොහොම හරි St. බණ්ඩාරනායක එකට ගියාම තමා මං දැනගත්තෙ පුද්ගලික ඉස්කෝලවල ඒ කාලෙ, එකේ පන්තිය, එහෙමත්
නැත්තන් දැන් කාලෙ කියනව වගේ
පලවෙනි ශ්‍රේණියෙ , ඉංග්‍රීසි උගන්නන්න භාවිතා කල 'Direct Method English
Course' Book - 1 කියන
පොත ආණ්ඩුවෙ ඉස්කෝලවල
පටන් ගන්නෙ, හයේ පන්තියෙදි කියල.
දැන් අපේ වෙලාව රෑ 12
ටත් ලඟයි. ඉතුරු හරිය හෙට කියන්නං.
තරහ අවසර, 'මිස්ට විජේසේන' පෝස්ට් එකේ කියපු ලොරි
චැසියට, බස් බොඩි ගහල දිව්ව බස්, දැකල නැති කට්ටියට, ඒ පෝස්ට් එකේ අගට, පින්තුර ඇමුනුව ඊයෙ, කැමති නං ගිහින් බලන්න ,
හැබැයි බනින්න ඔට්ටු නෑ.
තාම කතාවෙ හැදින්වීම විතරයි... ආයෙ කතා දෙකක් නැහැ.. මේ කතාව මාමෙ මෙගා ටෙලියකට වඩා දික් වෙයි වගේ......
ReplyDeleteඅහින්සක...
හ්ම් මටත් හිතෙන්නෙ මෙගා සීරිස් එකක් වගේ. හරි කමක් නෑ ඔහොම යන්කො...
ReplyDeleteඅහිංසක & ගිම්හානි,
ReplyDeleteනෑ... නෑ.... තව එක කොටසයි. ඒක හෙට හෝ අනිද්දා
කෝ කෝ ඉතුරු ටික .....?
ReplyDeleteකිසි අවුලක් නැහැ ඔබා අයියේ..මෙහෙමම හිමිහිට කියාගෙන යමං... කියන්න තරං ප්‍රධාන කතාවක් ඇතත් නැතත් ඔය අතුරු කතා ටික හරි වටිනවා... නවම් කාරයා ආයේ ආවොත් අනං මනං කියාගෙන පඳුර වටේට තලන එකෙන්ම ඌටත් දෙකක් දීලා අදිමු...
ReplyDeleteබොලාගේ කතා කිවිල්ලත් අපේ තාත්තගේ කතා කිවිල්ල වගේ තමා...හැබැයි මට මතකයි තුට්ටු දෙකෙන් ආප්ප කන කතාවක් උන්දෑ කියනවා...මට ඔය තුට්ටු ගණන් හරියට මතක නැතත් තුට්ටුව තියන්නේ සතේකින් කාලක් හරි තුනෙන් එකක් වගේ ගානක් හරි වෙන්න ඕන...
ඔහොම කියාගෙන යමං...
බොට මතකද බොලා බ්ලොග් එකක් හදන්න කම්මැලිකමට ඇඹරි ඇඹරි හිටිය කාලේ..අර මතක් වෙන ඒවා පුළුවන් හැටියකට ලියලා මට දෙන්ට හැදුවේ... එදා එහෙම නොකර බොට මෙව්වා එකක් පටන් ගන්ටම බල කරපු එක කොච්චර ලොකු දෙයක්ද කියලා මේ ලිපිය දැක්කමත් මට හිතුනා...
ඔහොමම යමං ඉස්සරහට...
yamukoo issarahata balanna!
ReplyDeleteඔබා මාමගේ අම්මා ගිය ඉස්කෝලේ ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය... බාලිකා කිව්වට මොකෝ මාත් ඒ ඉස්කෝලෙම ප්‍රාථමික අංශයේ ඉගෙන ගත්ත ඕ.බී කෙනෙක් :)
ReplyDeleteප්‍රාථමික අංශයේ පමණක් අපි වගේ බාලකයින්ට පොඩි ඉඩක් වෙන් වෙලා තියෙනවා..
ලංකාවට ආපු වෙලාවක රත්නපුරේ ඥාතීන් හම්බ වෙන්න අවොත් එහෙම කලින් කියන්න.
ඔක්කොම අතුරු කතානේ. ඒ නිසා මම මේකට මුකුත් කියන්නේ නෑ. දාන්නකෝ ඔබා මාමාගේ ප්‍රධාන කතාවත්. මොනවහරි කියන්න තියනවද බලන්න.
ReplyDeleteඔන්න මම ඔබා සහෝදරයට යන එන මං නැති කරන්නයි යන්නේ.
ReplyDeleteමමත් මේ සනත් මහත්තයා ඉස්කෝලෙන් පස්සෙ ගිය අර ප්‍රසිද්ධ ආයතනයට ගිය දැනට එයා ඉන්න රටේම ඉන්න කෙනෙක්.1989 අග හරියේ තමයි මේ රටට එන්න ලංකාවෙ අයට ඉඩ ලැබෙන්න පටන් ගත්තෙ.කොහොම හරි ඒ දවස්වල මේ කියන තැන ඉගෙන ගත්ත අපි අතර තිබුන කියමනක් තමයි කටුගේ ලඟ තිබුන මේ රටේ මහ කොමසාරිස් කාර්යලයට අපේ එවුන් ගිහින් ඇප්ලිකේශන් එක දීලා ගෙදර යනකොට ගෙදරට ලියුම ගිහින් කියලා වීසා එක ගහන්න පාස්පෝට් එක ගේන්න කියලා.ඉතින් කොහොම හරි මෙහෙට ආවට ඒ දවස්වල මේ රටේ බොහොම බරපතල ආර්ථික අවපාතයක් සිංහලෙන් කියනවනම් Recession එකක් තිබුනා. කොහොම වුනත් ඒක ඒ තරම් බරපතල ප්‍රශ්නයක් නොවුනේ හැමෝටම ආව දවසේ ඉඳලා ඩෝල් එක හම්බවුන නිසා.අපිට කලින් ආව සමහර යාලුවන්ට නම් ජොබ්,කාර් එහම තිබුනා.තනිකඩව හිටපු අපි තුන් හතර දෙනා ගෙයක් කුලියට අරගෙන චමරියක් දාගෙන හිටියා. ඉතින් දවසක් මෙහෙම ඉන්න අතරේ අපේ යාලුවෙකුට යන්න වුනා ඉන්ටවීව් එකකට ජොබ් එකක් ගැන.කරුමෙට ඒ කියන පාරේ බස් යන්නෙ නෑ.පයින් යනවා නම් අක්කර තුන හතරක් යන්න වෙනවා.ඉති මේ ගැන ඒ පැත්ත හිටපු කාර් එකක් තියන යාලුවෙකුට කිව්වහම එයා කැමති වුනා අපේ මිත්‍රයාව එක්කගෙන යන්න හැබැයි කෝච්චියෙන් එන්න කිව්වා එයා වැඩ කරන තැන කිට්‍ටුව ස්ටේෂන් එකට.ඉතින් අපේ මිත්‍රයා හවස ගියා. අර මුනගැහෙන්න හිටපු යාලුවා කතා කරලා කරනවා පහට විතර කෝ බං මේකා මෙතන නෑ කියලා.මේ අර ගඩොල් බාග මෝටරෝලා තිබුන කාලේ මෙහෙත් හැමෝම ලඟ නෑ.දැන් ඉතින් මොකද කරන්නෙ බලාගෙන හිටියා මූ එනකම්. පොර හතට විතර එනවා.ටිකක් හුස්ම ගන්න එහෙම ඉඩ දීලා ඇහැව්වා මොකද වුනේ කියලා.මෙන්න පොර අපිට දුන්න උත්තරය.
මචං මම යාලුවා කිව්ව විදියට කෝච්චියෙන් බැහැලා මට ඉන්න කියපු තැනට ගියා.එතන ලොකු පාරක් ලඟ තියන පාක් එකක්.මට ඉන්න කියපු තැනට ගිහින් ඉන්නගමන් ටිකක් වට පිට බැලුවා.පාර අයිනෙ කනුවක බෝඩ් එකක් තිබුන නිසා ඒක කියවලා බලනකොට ඒකෙ ගහලා තියනවා NO STANDING(හරියටම මේ අපේ සනත් සහෝදරයා පෝස්ට් එකේ උඩින්ම දාලා තියන බෝඩ් එක) කියලාඉතින් මම එතන හිටගෙන ඉන්නෙ නැතුව තව ටිකක් එහාට ගියා.එතනත් එහෙම බෝඩ් එකක් .ඉතින් NO STANDING බෝඩ් එකක් නැති තැනක්හම්බවෙනකම් කිලෝමීටරයකට වඩා එහාට ගියා මොකද ඒ හරියේ හිටගෙන ඉන්න එපා කියලා ගහලා තියන නිසා.
සේරම කතන්දරේ අහගෙන හිටියහම තමයි අපිට තෙරුනේ මොකද වුනේ කියලා.මෙහෙ පාරේ වාහන නවත්වන්න තහනම් කියන එකට තමයි NO STANDING ගහලා තියෙන්නේ.ලංකාවෙ ගහන්නේ NO PARKING කියලනෙ.මේක තමයි මිනිහටවෙලා තිබුන අවුල අපිට නම් මාසෙකට විතර හිනාවෙන්න මාතෘකාවක් ලැබුනා.
අප්පට සිරි ඔබා අයීයා ඒ කාලෙ හරි අහින්සක පොඩි එකෙක් වගේනෙ ! මන් හිතුවා ඒ කාලෙත්...
ReplyDeleteWhy no standing?
ReplyDeleteCome and under-stand!
අපේ අම්මත් ෆර්ගියුසන් එකට ගිහින් තියෙනවා 1953 විතර.
ReplyDeleteආතා ගේ සල්ලි ටික ශත දහය ගානේ ගෙවලම ඉවරවෙලා අවුරුද්දකින් වෙන ඉස්කෝලෙකට ගිහින්.
!
බුන්ට සීයගේ පසුබිම් වර්ණනාවට තමා මමත් වැඩිය කැමති. ඕවා අහගන්න අපේ කතන්දර සීයලාත් නැති එකේ, බුන්ට සීයා වැඩි විස්තර ඇතිව කිව්වත් අපි කැමතියි අහගෙන ඉන්න.
ReplyDeleteබුන්ට සීයා® © 2011 රපිකොයිට් චූටි මහත්තයා.
ReplyDeleteලොගින් වෙන්න කම්මැලියි
ReplyDeleteනාට්ටිය පෙන්නන්නෙ නැත්තං රුපියල දීපන්........:(
Enemy
එතකොට ඔබා අයියා ඔය මාබොදලෙ සහ උළුකඩේ හංදිය යාකරන පාර තීයනවනේ. ඔයා කොයි හරියෙද? බොහෝ පෞරානික පලාතක්. ඒකනායකලා වැහි වැහැලා. එතකොට අබේවර්ධනලා, එහෙම නේද? රණසිංහලත් ඉන්නවා නේද? ඔය හරියේ. ඔන්න බලමු ඉතින් මිනිස්සු හම්බු වෙන හැටි ඈ හරිම අපූරුයි නේද? මාබොදලෙ වැවේ නාල එහෙම නැත්ද?
ReplyDeleteමමත් වැඩියම ආස මෙන්න මේ පරණ කතාවලට.. නැත්තම් ඔබා මාමගේ හැඳින්වීම් වලට...
ReplyDeleteඈ අර ඇනෝ කමෙන්ටුවේ සිද්ඩිය උනේ ඔබා මාමටෙයි ?
මේක මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා නැතෝ.... පෝස්ට් එක දිග නිසාද මන්දා...
ReplyDeleteඔබාගේ කතන්දරේට වැඩිය තැටමිල්ලයි තෙපර බෑමයි තමා ආතල්. හරියට මුවන්පැලැස්ස වගේ!
ReplyDeleteඔබා මාමේ ඉතුරු කෑල්ලත් ඉක්මනට දාමු.....
ReplyDeletePrivate and confidential under the billing tree @ Paramount Cafe
ReplyDeleteමෙ කතාව මතු සම්බන්දයි නොකර ඔබා මාමගෙ අනිත් කතාමෙන් ලෙහෙසියෙන් ඔලුවට දමාගත හැකි කතා මාලාවක් වෙවා!!!
ReplyDeleteඔබා අයියාත් සීයාත් දෙන්නම ගම්පහ ඉන්න ඕනේ කොල්ලෝ... ඒකේ ආයේ දෙකක් නෑ... :D
ReplyDeleteඔබා මාමා මේ කතා පටන් ගත්තු එකත් ලොකු දෙයක්,,,බ්ලොග් වලට මැස්සෝ වහගෙන එන කාලේ මෙමෙවත් කියවන්න දේවල් තියන එක මරු,,පරන දේවල් කියවන්නත් මම හරි ආසයි
ReplyDeleteඇනෝ අර පටන් ගන්න කොටම යන එන මං නැති කරන කතාවක් කියලා තියෙන්නෙ, ෂුවර් එකටම ඔබාට වෙච්චි සීන් එකක් තමයි.... සමහරවිට මේ පඳුර වටේ තලාගෙන එන්නෙ බුන්ටටවත් ඔහොම දෙයක් උනා කියල කියන්නවත්ද දන්නෑ..
ReplyDeleteමොනව උනත් ඔබා මාමගෙ ඉතිහාස පාඩමට මං හරිම ආසයි... මමත් අද හරියට දුක් වෙනවා මගේ අත්තම්මලා සීයලා ජීවත්ව ඉන්දැද්දි එයාලගෙ පුංචිකාලෙ දේවල් ගැන හෙම විස්තර ඇහුවෙ නැති එක ගැන... මොන එකක්ද මන්දා මට කවදාවත් හිතුනෙ නෑ පුංචි කාලෙ එයාලටත් අපි වගේ ළමා කාලයක් තියෙන්න ඇති කියලා...ඒ කාලෙ හිතෙන්න ඇත්තෙ එයාලා අත්තම්මලා සීයලා විදියටම ඉපදුනා කියලා වෙන්ටැ...
ඔබතුමාගෙ ඉතිහාස පාඩම නම් නතර කොරනවා නෙවේ ඕං.....
ඔබා මාමා ඔය පාර පටන් ගන්න හරියේ නේද??
ReplyDelete@වෙද ගෙදර මහ වෙදනා : අබේවර්ධන කිව්වේ මේ ලඟදි නැතිවුන කෙනාද??
උළුකඩේ හංදියට යන පාර පටන් ගන්න හරියෙම ඔය නම් තියෙන කට්ටියක් ඉන්නවා...
අමරසිංහල කට්ටියක් ගැන එහෙම දන්නේ නෑ නේද? :D
සෙනසුරාද, ඉරිද, දෙකනෙ සතියෙ නිමාඩුවක් නැතිම දවස් දෙක. හෙට දවල් වැඩට ගියාම කොමෙන්ට් වලට වග උත්තර බඳින්නන්
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහික් . .. ඔබාට ඉතිං හැමදාම කොලේ මහ කෙලියට වඩා වටේ තලන එකනෙ . . . .
ReplyDeleteතාත්තට ගුවනෙදි හම්බ උනේ කනකසබේ මහත්තයවද ??
ReplyDeleteතාම කියව්වේ නැහැ පස්සේ කමන්ට් එකක් දාන්නම්....
ReplyDelete@ විසිතුරු,
ReplyDeleteඉවසන්න, ඉතුරු හරියත් ඉක්මනට කියන්නං.
@ මාරයා,
බොක්කෙන්ම තෑන්ක් යූ.
@ මාධව,
ඉතුරු හරියත් ඉක්මනට කියන්නං
@ ඉඳුනිල්,
ඉස්කෝලේ නම මතක නැතුව තිබ්බෙ.
ආරාධනාවටත් ස්තුතියි.
@ ගොඩයා,
ළඟදීම බලාපොරොත්තු වන්න 'ඉතුරු හරිය'
@ ඇනෝ [ 19 November 2011 08:41 ]
සඳහන් කල ආයතනේ අයත් ඇතුළුව ලංකාවෙ අය 1989 යට හුඟාක් කලින් මෙහාට ආව. ඇනෝ කියන කාලෙටත් ටිකකට ඉස්සර තමා එන සංඛ්‍යාව වැඩි වුනේ. මම පාස් අවුට් වුනේ 75 හේ, මගේ බැච් මේට් කෙනෙක් ආව 76 යේ විතර. ඊටත් කලින් ආව අය දැනටත් සෑහෙන්න ඉන්නව. මගේ සයිට් එකේ තියෙන ඊමේල් ලිපිනයට ඊයක් එව්වොත්, වැඩි විස්තර කියන්නම්.
@ වෙනි,
ඉස්සරත් අහිංසකයි, දැනුත් එහෙමම තමා.
හොඳට හොඳා, නරකට ඊටත් වඩා හොඳා.
@ කතන්දර Kathandara ,
ආර්ථික උද්ධමනය. සතේ, සත දහය වෙනකම් නැගල.
@ බුද්ධි,
පල පල යන්ඩ, මෙතන ආව නම් හදන්නයි, ඒවට තව කොපි රයිට් ගන්නයි.
@ Enemy ,
කලබොල නැතුව හිටියොත් ඉක්මනට නාට්ටිය පෙන්නන්නං.
@ වෙද ගෙදර මහ වෙදනා ,
අපි පොඩි කාලේ වෙනකොටත් මාබොදලේ ආත පරලොව ගිහින්, ආතම්ම විතරයි හිටියෙ. අපි එහෙ යන්නෙ ඒ කාලෙ ඉස්කෝලේ නිමාඩුවට විතරයි. වැව මං දැකලවත් නෑ, කියන්නත් කනගාටුයි.
අපිටත් තියෙන්නෙ 'රණසිංහ විජේවර්ධන' නම. මාබොදලේ ඉස්කෝලේ හදන්න ඉංග්‍රීසි ආණ්ඩුවට ඉඩම දීල තියෙන්නෙ අපේ මුත්ත කෙනෙක්, 'විජයවර්ධන' කියන්නෙ ඒකට දීපු නම්බු නාමයක්ලු.
@ පිස්සා,
මේ පෝස්ට් එක කොහෙවත් අප්ඩේට් වෙලා නැති බව දැක්ක.
@ kandyan ,
හිකිස්.....
@
gandharaya ,
ඉක්මනට දාන්නන්
අර නෝ බාර්කින්ග් කිව්වා වගේද මේ නෝ ස්ටෑන්ඩින් කතාවත්? එන පොට නම් ඒ වගේ..
ReplyDelete@ Suren ,
ReplyDeleteඔය kandian එහෙමත් ඒ කාලෙ කුරුණෑගල හිටපු, පැරමවුන්ට් එකේ බිලින් ගහ එහෙම, දන්න කට්ටිය. දැනට කුඩු වෙලා තියෙන හරිය මදිවටද තව ඒ කතාත් කියල කාර්ඩ් සුන්නද්ධුලි කරගන්නෙ හෙහ්...හෙහ්...හෙහ්...
@ ලොකු ඡෝන්,
තව එක කොටසයි මගෙ ප්ලෑන් එකේ හැටියට නං.
@ Beetle
හප්පට සිරි බීට්ල් ගම්පහද?
@ ItalyDilan
ස්තුතියි, මගෙ වල් පල් කියවන්න කැමති අයත් ඉන්නව කියල දැක්කම ෆුල් සන්තෝසයි.
@Miyuru
හප්පට සිරි, තර්ජන ඝර්ජනත් එනව
හපෝ...මේ මොකද මේ මෙදා පාර උත්තර දීලා තියෙන හැටිනං අන්තිම කැතයි. අපේ නංගං හිරවෙලා, එකගොඩේ මොකද ඒ? හොයාගන්ඩත් බෑ. අමාරුවෙන් හොයාගත්ත කියමුකො...ඒකත් මට බැනලනෙ තියෙන්නෙ....
ReplyDelete@ තාරක,
ReplyDeleteමාබොදලේ ඉස්කෝලෙට එහා ගෙදර. පසුගිය අප්‍රියෙල් මාසෙ ඒ ගේ කැඩුව, මේ දවස් වල අපේ බාප්පගෙ බාල පුතා එතන අළුත් ගෙයක් හදනව.
@සුද්දී,
ඇයි කොමෙන්ට් එක මැකුවෙ? මං නං කියෙව්ව.
@ ඕනයා,
බොට විතරයි තේරුනේ
@ කවිකාරි,
තාත්තට මතක තිබුනට, මට නම මතක නැහැ. එයා එංගලන්තේ ජීවත් වෙන කෙනෙක්. ලංකාවට යන්න ආවෙ සිංගප්පුරුව හරහා. අපිට හමුවුනේ සිංගප්පුරුවේ ඉඳල ලංකාවට ගිය එයාර් ලංකා ගුවන් යානයේදි
@ රොබින්,
හොඳා, හොඳා, කියවල බලන්නකො ඉඩ තියෙන වෙලාවක
@ ක්සැන්ඩර් | Xander,
'නෝ බාර්කින්' කතාව අහල තියේ කියල මතකයක් නෑ.
මට මගේ තාත්තා මතක් උනා.. මගේ තාත්තත් අවුරුදු 90 ක් ඉඳලා යන්න ගිහින් අවුරුදු නමයක් මේ මාසේ වෙනි දාට .. අපි ඒ වයසින් තුන් කාලක් වත් ජීවත් වෙයිද මන්දා ..
ReplyDelete@ සරත් ලංකාප්‍රිය,
ReplyDeleteමං හිතා හිටියෙ සරත්ට දැන් ඒ කිව්ව තුන් කාල පැනල කියල
@ බුද්ධි ,
ReplyDeleteමෙන්න ඒකටත් එක්ක හරි යන්න බුද්ධිට තනියෙම උත්තරයක්.
බැනල කිව්ව, ඕනයට කිව්ව එකක් වත් මාරු වෙලා කෙහෙල් කොටුවට විසි වෙලාවත්ද, එහෙම නැත්තන් චූටි එකා වාචාල කමට කට කැඩිච්ච කතාවක් වත් කිව්වද?
මේක කොහේද බොලේ තිබ්බේ මම දුටුවේ නෑ නෙව . හ්ම් අන්තිම කොටහ බලන්නත් එන්ම් ..
ReplyDeleteමට අයිය නෝ ස්ටෑන්ඩිං කිවුවම නිකමට වගේ මතක් උනේ . . . . ඉඳල හිටල බඩයනව කියල ඉංග්‍රීසියෙං කියන්නෙ . . . ."සිටිං ස්ටෑන්ඩිං බෙලි ගොයිං" කියල නෙව . . .
ReplyDelete@සඳරු:
ඔන්න ඉගෙන ගනිං . . . අලුත් ඉංග්‍රීසි වාක්්‍යයක් . . . මං උඹට කලිං කිවුවනෙ . . . එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකි ඉංග්‍රීසි වාක්්‍ය 500ක් කටපාඩං කරවනව කියල . . . මතකද ???
අම්මේ කියවලා ඕන්න දැං ඉවර වුනේ...
ReplyDeleteඔබා මාමගේ ලිපි කොච්චර දිග වුනත් මම නං ඔක්කොම කියවනවා....
අපි දත යුතු අපි නොදන්න අතීතේනේ!
මට ඕවා අහගන්න අම්මා තාත්තා ගෙන් බෑ...එයාලට වැඩි වයසක් නෑ නේ..
ආච්චි සීයා නම් නෑ....
ඔබා මාමගෙන් තමා අහගන්න වෙන්නේ.!
කෝච්චියක් හින්ද ඔබා මාම නරක් උනාද ඔබා මාම හින්ද කෝච්චියෙ යන අනිත් උං නරක් උනාද කියල සොයාබැලීමක් කරන්න වටිනව.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@ සඳරු,
ReplyDeleteඅන්තිම කොටස ළඟදීම එනවා.
@ ඕනයා,
ඊළඟ කොටස 'Kiss & Ride' ළඟදීම එනවා.
@ ගලයා,
ඔය ඕනයට දීල තියෙන උත්තරේ බලන්නකො.
@ Praසන්ன,
සෑහෙන්න බොන්ඩ වෙන ප්‍රශ්නයක්
ඔබේ මවගේ පාසැල් මතක ගැන තව තොරතුරු දන්නවා නම් මව පාසැලේ සිටි කාලයත් එක්ක අපට දැන්වුවොත් ප්‍රයෝජනවත් වෙයි. පාසලට (ෆර්ගසන් උසස් බාලිකා විදුහලට) වසර 100 පිරීම නිමිත්තෙන් පොතක් එළි දක්වන්න අපි සූදානම් වෙන්නේ
ReplyDeleteඔබේ මවගේ පාසැල් මතක ගැන තව තොරතුරු දන්නවා නම් මව පාසැලේ සිටි කාලයත් එක්ක අපට දැන්වුවොත් ප්‍රයෝජනවත් වෙයි. පාසලට (ෆර්ගසන් උසස් බාලිකා විදුහලට) වසර 100 පිරීම නිමිත්තෙන් පොතක් එළි දක්වන්න අපි සූදානම් වෙන්නේ
ReplyDelete