My followers

Wednesday 28 September 2011

'තෝර බලයි'


මගෙ අතිජාත මිත්‍රයෙක් ඉන්දරේ.අපි දෙන්න අඳුනන්නෙ හැත්තෑ ගණන් වල මුල හරියෙ විතර ඉඳල. අපි දෙන්නම එකම ආයතනේ පුහුණු වෙලා ලංගම සේවෙට බැඳුනෙ. ඉන්දරේ මට වඩා අවරුදු දෙකක් විතර සීනියර් බැච් එහෙක. සෑහෙන කාලයක් අපි දෙන්න කුරුණෑගල ලංගම ප්‍රාදේශීය වැඩපොළේ එකට වැඩ කළා. ඉන්දරේ, ඉස්ටෝරුවක් වගේ එහෙකට හදල, ඒත් තාම  විවෘත කරල තිබුන් නැති අලුත්ම බිල්ඩිමක, උඩ තට්ටුවෙ කුලියට දෙන්න හදල තිබුන, කාමර කීපෙකින් එකක්, යාලුවෙකුත් එක්ක කුලියට අරන්, ඒකෙ පදිංචි වෙලා හිටියෙ, ඔය කාලෙ. එතන උයා පිහා ගන්නත් පහසුකන් තිබුන. ටිකක් වැඩි වෙන එවුන්ට එතනම වැටිල නිදාගෙන, පහුවෙනිදා නාගෙන එහෙම වැඩට යන්නත් පුළුවන් හින්ද අපේ සෙට් ඒක ඒ කාලෙ නිතරම බෝතල් වලට සැට් වෙන තැනක්, ඉන්දරේගෙ කාමරේ. හරියට ගුනේ  අය්යගෙ බජව් දාන කාමරෙ වගේ.

ලංගම වුනාට, අපි වැඩ කොරපු තැනින් බස් ධාවනයක් සිද්ධ වුනේ නැහැ. බස්, එන්ජින්, චැසි, ගියර් පෙට්ටි, අනං මනං සම්පුර්ණ අලුත්වැඩියාව විතරය්. ඒ නිසා සිංහල අවරුදු, වෙසක්, නත්තල්, වගේ කාලෙට නිමාඩු ගන්න එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නැහැ. කුරුණෑගලම ටික දෙනා ඇරෙන්න, අව්රුදු කාලෙ එහෙම වෙනකොට පිටිං ඇවිල්ල බෝර්ඩ් වෙලා වැඩ කොරපු, අපේ සෙට් එකම සුමානයක් විතර නිමාඩු දාල ගං රටවල් වලට යනව. එක අවරුදු නිමාඩුවක ඉන්දරෙය් මාය් සෙට් වුනා උන්ගෙ ගමේ යන්න. ඉන්දරේගෙ රූම රත්නපුරේ, ඌ ගියා උන්ගෙ ගමේ. අපි දෙන්න ගම්පහ අපේ ගෙදරත් ගිහින්, අම්ම තාත්තගෙනුත් අවසර අරං ගියා ගාලු.  ආ....කියන්න බැරි වුනානෙ, එතකොට අපි එකෙක්වත් හිරේ විලංගුවෙ වැටිල හිටියෙ නැහැ, ෆුල් නිදැල්ලෙ.

ඉන්දරේලගේ ගම, ගාල්ලෙන් මාතර පාරේ ටිකක් දුර ගියාම හම්බවෙන, "දෙවැටහන්දිය" කියන තැනින් වමට හැරිල යන පාරෙ.( මීගමුවෙ "නාසානන්ද " තෞලය වගේම දකුණු පළාතෙ ප්‍රසිද්ධ වෙලා තිබ්බ "මහා බල" තෞලය නිෂ්පාදනය කරන මහා බල වෙද මහත්තයගෙ බෙහෙත් සාලාව ඒ කාලෙ තිබ්බෙත් දෙවැට හංදියෙ) මට මතක විධියට ඒ පාර යන්නෙ දෙණියාය පැත්තට. ගමේ නම බෝගහගොඩ. බෝගහගොඩ හන්දියෙන් බැස්සම, කබරගල්ලට යන පාරෙ පන්සල එහෙම පහු කරල මීටර් තුන්, හාර, සීයය්  ඉන්දරේලගෙ ගෙදෙට්ටම. ඉන්දරේට හිටිය ගමේ නියම යාළුවො සෙට් එකක්. එක්කෙනෙක් තමා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. ලොකු හාමුදුරුවෝ කිව්වට, අපිට වඩා ඕන්නං අව්රුද්දක් දෙකක් වැඩිමල් ඇති, ඒ කියන්නෙ ඒ කාලෙ හාමුදුරුවන්ගෙ වයස අවරුදු 25 ක් විතර වෙන්නැති. හිටපු ලොකු හාමුදුරුවො අපවත් වුනාට පස්සෙ, ජ්‍යෙෂ්ටම ගෝල නම හැටියට පන්සලේ භාරකාරත්වය හිමි වෙලා. විශ්ව විද්‍යාලෙන් පිට වෙලත් වැඩි කාලයක් නැහැ එතකොට, ළඟ රජයේ පාසලක ඉගැන්නුව වගේ තමා මට මතක. ඉන්දරේ කිව්ව විධියට, ගමේ තරුණ පිරිස පන්සලට හුඟාක් හිතවත් දායක පිරිසක් වෙන්න හේතු වුනේ, මේ තරුණ ලොකු හාමුදුරුවො. පසු කාලෙක ඉතාම අවාසනාවන්ත ලෙස මිනීමැරුමකට ගොදුරු වුනා, තරුණ කාලෙම. (වෙනම පෝස්ට් එකකින් ඒ කතාව කියන්නම්)

ඉන්දරේගෙ අනිත් ගමේ යාළුවො සෙට් එකත් නියම භාණ්ඩ ටිකක්. ඒ සෙට් එකේ හිටිය තැපැල් මහත්තයෙක් එහෙමත්.  තව හිටිය, හිටි ගමන්, එක එක පොඩි කේස් වලට, පොලිසියෙන් හොයන පොරක්. මෑන් එක පාරක් වල් ෆැන්ට පොට් එකක හරි, බූරුව පොළක හරි ඉඳල පොලිසියෙන් පැන්නම, දුවල හැංගිලා තියෙන්නෙ, වියන්න මඩේ දාල තිබිල ගොඩට ඇදපු, පොල් අතු වගයක් යට. පොලිසියෙන් ටෝච් ගගහ සෑහෙන වෙලාවක් හොයල ගියාට පස්සෙත්, හුඟ වෙලා ඉඳල තමා, එලියට ඇවිල්ල තියෙන්නෙ. තලන්න විධියකුත් නැතුව ඉන්දැද්දි, මදුරුවො කාපු සැප එහෙම, රහ කරල කියන්නෙ. තව ඉන්දරේට හිටිය මාමල, බාප්පල, ළඟ නෑදෑයො සැට් එකක්. ආශ්‍රය මචං නොකිව්වට, මචං ලෙවල් එකෙන්. මොකද කට්ටිය ඉන්දරේට වැඩිය ටිකය් වැඩිමල්. කොහොමත් ඉන්දරේ ගමේ යනකොට ගාල්ලේ සිඩ්නි එකත් වන්දනා කරල, තව බෝතල් දෙක තුනකුත් අරං එන බව දන්න හින්ද හාමුදුරුවො ඇරෙන්න අනිත් කට්ටිය ඔක්කොම ඉන්දරේලගෙ ගෙදරට සෙට් වෙනව අනිවාර්යෙන්ම, ඉන්දරේ ගමේ ආව කියල ආරංචි වුනාම.

අව්රුදු දවස් කීපය ඉන්දරේගෙ යාලුවොත් එක්ක ෆුල් සොමියක් දැම්ම. පන්සලටත් කීප වතාවක් ගිහින් හාමුදුරුවොත් එක්කත් කථා බහ කළා. ඉන්දරේලගෙ තාත්ත දෙණියාය පැත්තෙන් එන ලොරියකට ඕඩරේ දීල තිබුනෙ, මං ආපහු යනකොට ගෙනියන්න හොඳම එකෙන් කිරි හට්ටි දෙක තුනකට.  බයිට් එකට එහෙමත් අනුභව කරල, ඉන්දරේලගෙ අම්ම, බාලම්ම, එහෙම හදන මාළු ඇඹුල් තියල් මට රහ වැටිල තිබුනෙ. හෙට ආපහු යන්නෙ කියල කියන දවසෙ, ඉන්දරෙය් මාය් ගියා, දෙවැට හන්දියට මාළු ගේන්න. මාළු මට ගෙදර ගෙනියන්න ඇඹුල් තියල් හට්ටියක් හදාගන්න.

දෙවැට හන්දියෙන් මීටර් සීයක් විතර මාතර පැත්තට යනකොට ඒ කාලෙ තිබුන පරණ තාලෙ තැබෑරුමක්. එතන පුටු මේස නැහැ, බයිට් ඕනෙ නම් එළියෙ හිටිය කඩල, වඩේ, එහෙම විකුණන පොරක්. එහෙමත් නැත්තන් කවුන්ටරේ උඩ තිබුන පොල් කට්ටක දාල ලුනු කැට ටිකක්. ෂැන්ඩියට කෝක්, සෝඩා අනං මනං ඇත්තෙත් නැහැ එතන. ඒ කාලෙ ගල් වලට කිව්වේ "මොලැසස්" එහෙම නැත්තන් "දාම් කොටුව" කියල. මොකද ලේබලේ ගහල තියෙන්නෙ ගල්ඔය සීනි සංස්ථා ඉස්කාගාරයේ නිෂ්පාදිත "මොලැසස්" අරක්කු කියල. ලේබල් එක දාම් බෝර්ඩ් එකක් වගේ කළු සුදු කොටු. තැබෑරුමේ පොල් අරක්කුත් තිබුනද මන්ද, අපි දෙන්න පානය කළේ නං "දාම් කොටුව" කියල මතකය්.

අපි දෙන්න දෙවැට හන්දියෙන් බස් එකෙන් බැස්ස ගමන් කළේ ඉස්සෙල්ලම තැබෑරුම වන්දනා කර ගත්තු එක. ඊට පස්සෙ ගියා මාළු ලෑලි තියෙන ඉසව්වට. එතකොට තමා තේරුනේ, මාළු ගන්න දවස හරි නැහැ කියල. අව්රුදු දවස් හින්ද හුඟක් ඔරු කාරයො ටිකේම මූදු ගිහින් නැහැ. තිබ්බ මාළු අස්ප ගණන්. පොඩ්ඩක් කැරකිලා බලනකොට, එක මාළු කාරයෙක්ගෙ ගාන හෙන සාධාරනය්, පොර කෑ ගහන්නෙත් දැන් ගොඩ දාපුව කියල, මාළු ගැන අපි දෙන්නට එච්චර තේරුමක් නැතත්, බැලූ බැල්මට බඩු අලුත් වගේ පෙනුනෙ. එච්චර ලොකු මාළු නෙමේ, වැඩිම වුනොත් අඟල් 10 -12 ක් දිග තියෙන්න ඇති. මාළුන්ගෙ ජාතිය දන්නෙත් නැති හින්ද මාළු කාරයන්ගෙන්ම ඇහුව මොක්කුන්ද මේ කියල, පොර කියාපි, ගණන් කියල කෑ ගහන ගමන්ම "තෝරබලය් මහත්තය තෝරබලය්" කියල. ජීවිතේට අහල නැති මාළු ජාතියක් හන්ද පොරගෙන්ම ඇහුව ඇඹුල් තියල් දාන්න මුන් හොඳද කියල. තාම කෑ ගහන ගමන්ම ආයෙත් පොර කිව්ව "ඇඹුල් තියලට නියම භාණ්ඩේ.......ඇඹුල් තියලට නියම භාණ්ඩේ" කියල. ඉන්දරෙය් මාය් "තෝරබලය්" අරං ගෙදර ගියා.

ඉන්දරේගෙ අම්මය්, බාලම්මය්, දෙන්නම මාළු බලල කිව්වෙ, දැකල පුරුදු මාළු ජාතියක් නෙවි කියල. අපි දෙන්නම ඇහැව්වෙ මාළු නරක් වෙලාද කියල. අම්මගෙය්, බාලම්මගෙය්, ඒකමතික තීන්දුව අලුත්ම, අලුත් මාළු කියල. අපි දෙන්නම හෙන සැටිස්. වැඩිය පළපුරුද්දක් නොතිබුනත් කුණු මාළු වලට අහු වෙලා නැහැනේ කියල. දැන් අම්මල කුස්සියට ගෙනිහින් මාළු කපන ගමන් අපිට පොඩි දැනමුතු කමකුත් දුන්න, ඇඹුල් තියල් වලට ගන්නෙ ලොකු මාළු, එහෙම ආදී වශයෙන්. ඉන්දරෙය් , මාය්, කුස්සියේම ඉඳගෙන වැඩේ සුපවයිස් කොරනව. ඔයව් අස්සෙ කුස්සියට ආව ඉන්දරේගෙ හිච්චි බාප්පා. "උඹල දෙන්න කොහෙද මක බෑවිලා හිටියෙ උදේ වරුවම" අනං මනං ප්‍රශ්න ගොඩය්. පොරට අපේ මල් පැණි සුවඳ දැනිල ඊරිසියාවෙද කොහෙද. ඒ අස්සෙ අහනව මාළු හොදි හදන්නද, බදින්නද, පොරට තේරෙන්න ඇති අපි බෝතලේකුත් ගෙනල්ල කියල, දැන් බයිට් මතක් වෙලාද කොහෙද.  ඉන්දරේලගෙ අම්ම කිව්ව "මේ ඔබා පුතාට ගෙදර ගෙනියන්ඩ ඇඹුල් තියල් හදන්න" බාප්ප හෙන ෂොක් එකක් වැදුන වගේ අපි දිහා බලල "කව්ද බන් මේ මාළු ගෙනාවෙ" ඇහුව. ඉන්දරෙත් වීරයා වගේ "අපි" කිව්ව.

ඉන්දරේගෙ බාප්ප හැක...හැක... ගාල කැත හිනාවක් දාල කියපි "තොපි වගේ හරක් දෙන්නෙක්, මුං වැව් මාළු, මගුරො කියල ජාතියක්, තොපිට දීල තියෙන්නෙ  මුංගෙ රැවුල් ගස් කපල" කියල.

68 comments:

  1. කතාව මැවිලා පෙනෙන ලෙසටම ලියලා තියෙනවා ඔබා අයියා...දෙන්නම නියම බඩු දෙකක් මාළු හොයන්න යවන්න.. රැවුල කපපු මගුරො !!!!

    ReplyDelete
  2. මගුර වුනත් ඇඹුල් දාලා පැත්තකින් තියලා තිබ්බනම් උවමනා වුන දේ හදා ගන්න තිබුනා.

    ReplyDelete
  3. ඔය වගේම වැඩක් අපේ ගෙවල් ලඟ මාතර කැකණදුරේ සුරතල් මසුන් විකුණන තැනක පොරක් කරලා මාට්ටු වුනා. මිනිහා කැට් ෆිෂ් කියලා මගුරො පැටවුන්ගේ රැවුල් ගස් කපලා හෙණ ගණන් වලට විකුණලා..පස්සේ මුන් ගෝල්ඩ් ෆිෂ් ලා එක්ක හෙණ කචල් එහෙමත් දාගෙන..ඒ විතරක්නම් මදැයි ටික දවසක් යද්දි කැට් ෆිෂ්ලට රැවුලත් එනවලු..මරු පෝස්ට් එක හොදේ

    ReplyDelete
  4. වෙරි පිට ගියාම ඔ‍හොම වෙනව හික් හික්..

    ReplyDelete
  5. නාසානන්ද තෛලය හොයා ගත්තු වෙද මහත්තයා නැති උනාට පස්සෙ ඒක කරන් යන්නෙ ඒ වෙද මහත්තයගෙ ශිෂ්‍යාවක්. එයා මට ලගදි දවසක හමුඋනා.

    මාලු කේස් එකනම් චාටර්. දැනට උනත් මමනං මාලු ගන්ඩ තනියෙන් යන්නැ. අපි හැරෙද්දි උන් දන්නවා මේ ගොල්ල කබ්බොද ටොයියොද කියලා.

    ReplyDelete
    Replies
    1. "ශිෂ්‍යයාවක්" වැරදි මත සමාජගත කිරිමෙන් වලකින්න.
      ඩ්.ඩ් ජයසේකර වෙදමුත්නනුවන්ගේ එකම ශිෂ්‍යයා වුයේ නාසානන්ද නාමයේ නිර්මාතෘ ජේ.ජී රණතුංග (නාසානන්ද වෙදමහතා) වෙද මහතාය.ඔහු මාගේ පියානන් බවද දැනුවත් කරනු කැමැත්තෙමි.

      Delete
    2. විමසිම් සදහා :
      vedagedaraherbals(pvt)ltd
      Asoka Gunasekara/Managing Director
      0719102011/0332230468
      vedagedaraherbals@gmail.com
      vedagedara@gmail.com
      www.nasananda.lk

      Delete
  6. රැවුල කපපු මගුරෝ! මේවගේ පරණ සීන් අහද්දීත් අමුතුම ගතියක් තියෙනවා!

    ReplyDelete
  7. මාළුවො ෂේව් කරන රේසර් ජාතිය මොකක් ද දන්නෑ ?

    ReplyDelete
  8. මාලු කාරයා ගෙදර ගිහින් හාමිනේ එක්ක රස කර කර කියන්න ඇති මාලු විකුනපු හැටි.

    ReplyDelete
  9. හොක් හොක් හොක් හොක්....... රැවුල් කැපුවහම එතකොට මගුරොත් තොරබලයි වෙනවෑ....... ඔබා මාමලා මගුරව ඇඹුල් තියල් දැම්මෙයි ???? මරු ස්ටෝරිය....

    ReplyDelete
  10. හැක් හැක් හැක්. ‍රැවුල කපලා බෞතීස්ම කරපු මාලු ගැන ඇහුවමයි.
    henryblogwalker the Dude

    ReplyDelete
  11. හික් . රැවුල කැපුවෙ හන්දියෙ සැලුන් එකෙන්ද දන්නෙ නැහැ :D

    ReplyDelete
  12. යකඩෝ නිකංම නිකං බල මාළුවලට වඩා නරක් වෙලා තියෙයි මගුරු මාළු කාපුවම... කොහේද කුනු කාලා පුරුදු එවුවොන්ට ඕවා තේරෙන එකක්යෑ...:D

    ආ මං දන්න ඉන්දරයෙකුත් ඉන්නවා ඔය ගාල්ල අහම.. ඌත් ඔහොම ගොබිලෙක් තමා..මේ උගේ කවුරුවත්දෑ..?

    ඕනනං මෙතනින් බලන්නකෝ අල්ල ගතෑකි... ඉන්දරේගේ පොට් එක

    ReplyDelete
  13. අඩේ මූ මෙතනට කලින්ම ඇවිත්ද..? හැක්..

    ReplyDelete
  14. ඔබා අයියාට කරනු ලබන විශේෂ දැනුම් දීමයි...

    අයියේ මොනවා නමුත් බ්ලොග් එකේ අවුලක් තියෙනවා.. මේ පොස්ට් එක මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන්නේ නැහැ. චුට්ටක් දන්න කියන අයගෙන අහලා බලලා නිවැරදි කරන්න..තාමත් වැටෙන්නේ අර පීසා කතාවම තමයි..මං දෙතුන් පාරක් බැළුවා ඒක හදන්න..ඒත් එතන වරදක් නෙවෙයි මේකේ මොනවා හරි යූආර්එල් අවුලක් වගේ.. විශේෂයෙන්ම අර නිරීක්ෂකයා කියන තැන මොනවා හරි අවුලක්ද මංදා.. හොයලා බලන්ට...

    ReplyDelete
  15. ඔය වැව ගාව සැලුන් එකක් තිබුණද දන්නෑ මාලුන්ගෙ රැවුල කපන්න.
    මොනව උනත් නියම කතාව

    ReplyDelete
  16. අය්යෝ සල්ලි...... මාලු ගන්න කලින් ඕනයාගෙන් උපදෙසක් ගන්න එපැයි.... මාළුවගෙ වර්ගෙ විතරක් නෙවෙයි ඌගේ ඉස්තිරි පුරුෂ බාවෙත් කියයි ටක්කෙටම... හිකිස්. :D :D :D

    ReplyDelete
  17. අපරාදෙ මගුරු මාලු ඇඹුල්තියල්. ආයෙත් නිවාඩුවට එහේ ගියෙ නැතෙයි..

    ReplyDelete
  18. ඔන්න එදා තමයි, ඔබ්සෝවර් අයියයි, ඇන්ඩයියයි ඉස්සෙල්ලාම මුණගැහුනේ...

    ReplyDelete
  19. අහ ඒ කියන්නේ අන්ඩයියද රැවුල කපල මාළු විකුණලා තියෙන්නේ.. ඒ වලිය තමයි මේ දෙන්නගේ මේ තාමත් තියෙන්නේ ..

    ReplyDelete
  20. @ Weni,
    කතාව පෝස්ට් කරපු ගමන්ම ගොඩවෙලා. පහුවෙනිදට පෝස්ට් කරන්න ප්‍රි වීව් එකක් බල බල ඉද්දි එක පාරටම Published කියල වැටුන, ඔන්න ඔහෙ තියෙන්න ඇරිය.

    @ ඉඳුනිල්,
    ආයෙත් අහල මගුර කියල අත හැරියෙ නැහැ, ඇඹුල් තියල ලෙසටම හදාගෙන ගෙදර ගෙනාව, අපේ අම්ම දන්න මාළු. තාත්ත නං ඒත් කිව්වද කොහෙද ටිකක් වෙල් මාළු රහ වගේ එනව කියල.

    @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර
    හපෝ ගාල්ල මාතර පැත්තේ කෂ්ටිය ඔහොමම තමා, දුන්නොත් ගිනිගෙඩියක්, ලඟින් ගියොත් ඇහැක් නැහැ......හෙහ්...හෙහ්...හෙහ්...

    @ Outsider,
    මොනව කියනවද? වෙරි පිට ගියොත් වෙරි සොරිම තමා ඉතින් විසේසෙන්ම මාළු ගන්නව වැඩ වලට

    @ බුද්ධි,
    ඔරිජිනල් නාසානන්ද වෙද මහත්තය මම දන්න කාලෙත් මිය පරලොව ගිහින්. හැරියට් ඊ. ජයසේකර වගේ නමකින් නෝන තමා වෙද මහත්තයාගේ රෙසිපි එකට තෙල් හදල, බෝතල් කරල බිස්නස් එක ගෙනිච්චේ. ඒ කාලේ හැටියට සෑහෙන විශාල බිස්නස් එකක්. පුතෙක් හිටිය මට වඩා ටිකක් වැඩිමල්, ඌ කිව්වේ තෙල හිඳින්නේ වැඩිපුරම රතු ළුණුය්, ගොටුකොලය්, යූස් කරල කියල. ඌ දන්න වෙද කමක් නං තිබුන් නැහැ, අම්ම තාත්ත හම්බ කරපු සල්ලි වලින් පිස්සු කෙලිය මිසක. උන්ගේ මල්ලි කෙනෙක් වත් වෙදකම ඉගෙන ගෙන හරි නැතුව හරි බිස්නස් එක කරගෙන ගියාද දන්නෙ නැහැ. සමහර විට තෙල හිදින එක ඌම කොරන්න පටන් ගත්තද දන්නෙත් නැහැ, ඌත් රටේ වෙදා හැබැය්.

    බුද්ධියො , මාළු විකුණන පොරවල් දන්නව බං ඕන ටොය්යෙක්ව කබ්බෙක් කරල ගන්න.

    ReplyDelete
  21. ඔය තියෙන්නේ හොඳ පොල් මුඩු උඩු රැවුලක් ප්‍රොෆයිල් ෆොටෝ එකේ නං!

    ReplyDelete
  22. @ DongaAyya
    බොලාට ඉතින් පරණ සීන් කෝන් කියන්න අපි වගේ නාකිම ඉන්න ඕනේ...හිකිස්....

    @ රඹා,
    මාළු කපන මන්නෙන්ම වැඩේ දෙන්න ඇති මයෙ හිතේ. මහ ලොකු මිනිස්සු කියල හිතාගෙන අඩියක් පුඩියක් ගැහුවට මොලේ මෝරලා මදි වෙන්නැති (දැන් කියලත් ලොකු වෙනසක් තියෙනවද...අනේ මන්ද...)

    @ kandiyan,
    මාළු වික්කෙ මීහරකුන්ට කියල කියන්නැති

    @ ගොඩයා,
    ආයෙ විසි කොලා කියලද උඹ හිතුවෙ. මීට ඉස්සර කාල නැත්තං වෙල් මාළු, වැව් මාළු, ඇඹුල් තියල් කොරල, ඊළඟ පාර ලංකාවට ගියාම වෙන්ට මිසිස් ගොඩයට වත් කියල හදාගෙන කාල බලහං, ඇත්තටම මූදු මාළු වලට වඩා ගති

    ReplyDelete
  23. @ Dude,
    බෞතීස්ම කරන්නෙ තය්පොන්ගල් කපල Dude, රැව්ල කපල නෙමේ

    @ Chandika,
    චන්දික දන්නවත් ඇති ඔය හන්දිය, දැන් පොඩි පහේ ටවුමක් වගේ. ඔය කියපු කාලෙ බොහොම පොඩි කඩ මන්ඩියක්. දැන් නම් බාබර් සාප්පු එකකට වැඩිය ඇති ෂුවර්. මාළුන්ගේ රැව්ල, මාළු පිහියෙන්ම බාන්න ඇති මයේ හිතේ. චන්දිකට කෝච්චි පාරක් නං ඔය හන්දිය ගාවින්ම යනව හිකිස්....

    @ ප්‍රවීන් ඉන්ද්‍රනාම,
    කාටද මේ බනින්නේ? ආ.....මාරය ජිල්මාට් එකක් දාල ගිහිල්ල නේද?

    @ මාරයා,
    මම දැක්ක මගේ සයිට් එක අනිත් බ්ලොග් වල අප්ඩේට් වෙලා නැහැ කියල. ඉස්සෙල්ල පෝස්ට් එකත් අප්ඩේට් වුනේ පැය 5 - 6 කට පස්සෙ. මේ පෝස්ට් එක අද පබ්ලිෂ් කරන්න හිතාගෙන ඊයේ රෑ හරි වැරදි බල බල ඉන්නකොට ප්‍රි වීව් එකක් දාගෙන බලද්දී, එක පාරටම "Published " කියල වැටුන, දන්නෙම නැතුව පබිලිස් වෙලා. ඒ පාර එහෙම්ම තියෙන්න ඇරල නිකා හිටිය.

    @ ප්‍රසන්න,
    හෙහ්....හෙහ්....කියන්ඩ බහ තමා. ස්තුතිය් අගය කිරීම ගැන

    ReplyDelete
  24. හොඳ වැඩේ ඔබා අයියට උනේ..ඇයි යකෝ තවත් දවසක් තියා ගෙන ඉඳල පබිලිස් කරන්න ලු හිටියෙ !!! අනේ සාදු ! ඔහොම්ම වෙයන් ඊළඟ පෝස්ට් ටිකටත්..අපි මෙහෙ වේලි වේලි ඉන්නව ..

    ReplyDelete
  25. @ අවංක පැට්ටා ,
    ඌ වරිගෙ කොහොම වුනත්, ස්ත්‍රී පුරුෂ භාවෙ නං හොයය් මැරිච්ච කපුටෙක් දැක්කත්

    @ cjgayan,
    වැව මාළු ඇඹුල් තියල් නියමය්, පොඩ්ඩක් වත් අහක දාන්න වුනේ නැහැ.

    අවුරුදු නිමාඩුවට නං නෙමේ සෑහෙන වතාවක් එහෙ ගියා. තව කතා කීපයක් තියෙනවා ඒ පැත්ත ගැන හෙමිහිට ලියන්නං

    @ Beetle,
    ඕනයද? ඌ ඒ වෙනකොට තාත්තගෙ වෘෂණ කෝෂ වල වත් හිටියද මන්ද? පොඩ්ඩක් ගණන් හදල බලන්න ඕනේ..... ඕකගේ දැන් වයස 38 ය්......හ්ම්......හොටු, නාවර, පෙරාගෙන දන ගානව ඇති, ජංගියෙත් කක්ක කොරගෙන

    @ වසුන්දරා,
    Beetle ට දුන්න උත්තරේම තමා ඔයාටත් දෙන්න තියෙන්නෙ. හිකිස්....

    @ කතන්දර Kathandara ,
    ඔන්න ඉතින් යන්නෙ කොහෙද අහපුවම මල්ලෙ ලැප් ටොප් එක කියනව. මගෙ නෙමේ මාළුන්ගෙ රැව්ල කපල තිබ්බෙ.

    ReplyDelete
  26. ඔබා කුරුණෑගල පලාතේ කිව්වේ??? මමත් කාලයක් ඔය පැත්තේ බැහැලා හිටියා...පැරමවුන්ට් එකේ බිලින් ගහ, එතකොට රන්තලිය, lawn tennis club එහෙම් වල බැහැලා ඇති නේද????

    ReplyDelete
  27. @ kandyan,
    ඒ කාලේ පැරමවුන්ට් අපේ පොට් එකක්නෙ, දැන් තියෙන තැන නෙමේ, පොඩ්ඩක් මෙහාට වෙන්න පැරමවුන්ට් එක තිබ්බේ. බිලිං ගහ මොකද අමතක. ඉස්සර පැරමවුන්ට් එකේ සෙට් වෙමුද අහන්නෙ අද රාජ සභාව වෘක්ෂලතා මණ්ඩපේ රැස් වෙමුද කියල. ඕක අස්සෙ එකෙක් රෙකොර්ඩ් බාර් එහෙකුත් දාගෙන හිටිය. ඒ කාලේ ෆේවරිට් වේටර් තමා උපසේන.

    රන්තාලියට වැඩියෙම යැවෙන්නෙ නැහැ.Lawn tennis club එකේ මට නං මෙම්බර්ශිප් එක තිබ්බෙ නැහැ, ඒ වුනාට අපි එක්ක වැඩ කල යාළුවො කීප දෙනෙකුටම තිබුන හින්ද එතනත් සෙට් වෙන තව තැනක් තමා. කැන්ඩියන් කොය් කාලේද කුරුණෑගල හිටියේ, මං නං හිටියේ හුඟාක් ඉස්සර. 1975 - 88 අතර කාලේ කුරුණෑගල, මාහෝ, ගිරිඋල්ල, කෑගල්ල, අලව්ව, ප්‍රදේශ වල තමා වැඩ කලේ, අපේ ඒ වුනාට ප්‍රධාන ජොයින්ට් එක කුරුණෑගල ඒ කාලෙ.

    ReplyDelete
  28. @ Weni,
    ලිව්වම අකුරු වැරදිලාද එහෙම බලං නැද්ද බොලේ?

    ReplyDelete
  29. පබිලිස් ද ???? ඒක හිතලමයි ලිව්වෙ..

    ReplyDelete
  30. ඔය කියන පාර කෙලින්ම වැටෙන්නෙ ඉමදුවට, එතනින් අකුරැස්සට.අකුරැස්සෙන් දාල ගියාම තමයි දෙණියායට වැටෙන්නෙ.
    පිසාචයත් පොඩි කාලෙ ඉඳියෙ බෝගහගොඩට පොඩ්ඩක් එහාට වෙන්න තිබ්බ ගමකනෙ.....
    මොනව වුණත් අපේ ගම්පැත්තෙ එකෙක්ට කින්ඩි දානකොට වාවන්නෙ නෑ හරිද....

    ReplyDelete
  31. @ Weni,
    උඹේ පබිලිස් නෙමේ බං මගෙ පෝස්ට් එක පබිලිස් කොරන්න ඉස්සර අකුරු වැරදි එහෙම චෙක් කොරන එක ගැන කිව්වේ.....හිකිස්...

    අඩෝ පිසා,
    උඹ කබරගල්ලෙද? කබරගල්ලෙ එහෙම නං දැන්ම කියහන්. මොකෝ ඉන්දරේ මට ඒ කාලෙම කියල තිබ්බ "බෝගහගොඩ vs කබරගල්ල" ෆුල් සීරියල් කචල් එකක් ගැන. ලඟ්දීම එනවා පෝස්ට් එකක් අපේ එකෙකුට "අඩෝ, කොළඹින් ගෙනාපු ගනං කාරයෙක්" කියල කබරගල්ලේ එවුං දාපු මහජාතිය ගැන පෝස්ට් එකක්. ඒක ලියනවද, නොලියනවද කියල හිතමින් හිටියෙ. උඹ කබරගල්ලෙ නං ලියනවම තමා අනිවා, ඩෙෆා.

    වලි නං වලි හරීද ?

    ReplyDelete
  32. ඒ ගමේ නම කබරගල්ල නෙවෙයි මාමේ.." කබරගල "
    මම ඒ ගමේ නෙවෙයි..කබරගල තියෙන්නෙ ඔය ඉන්දරේ ඉන්නවයි කිව්ව හරස් පාරෙම තව ඉස්සරහට ගියාමනෙ.මං ඉඳියෙ ඉමදුව පාරෙම තව ටිකක් එහාට වෙන්න ගියාම තියෙන ගමක.
    මාම ඒ පැත්ත දන්නව නම් කියන්න.නැත්තම් කියල වැඩක් නෑනේ....

    ReplyDelete
  33. නාසානන්ද කතාව හේම්පිටින් ඇත්ත වෙන්ඩෝන. මොකද අර ශිෂ්‍යාවත් ඔයිට සමාන කතාවක් කිව්වා මට.
    .............

    බුද්ධියො , මාළු විකුණන පොරවල් දන්නව බං ඕන ටොය්යෙක්ව කබ්බෙක් කරල ගන්න.

    මේ කතාව නං සහතික ඇත්ත. උන් උදේ පාන්දර මාලු ගන්ඩ ගියාම ඔලුව අතගාලා ටොක්ක දෙන්නෙ. වේදනාව දැනෙන්නෙ වැඩට යද්දි.....

    ReplyDelete
  34. 86-87, 90-92, 94-97 කාලවල තමයි හිටියේ. ඒ උනාට වයඹ පලාතේ සෑහෙන්න කරක් ගහලා තියෙනවා.ඔය ලංගමේ පොරක් එක්කත් සෙට් වෙලා තියනවා...නම මතක නෑ හැබැයි ඌට කොළ පාට කොට පැජෙරෝ එකක් නම් තිබුනා වගේ මතකයි.

    මගුරො අස්සේ මේවා කතාකරන කොට ඔබාගේ කස්ටියට මල පනීද දන්නේ නෑ...සොරි වේවා

    ReplyDelete
  35. කතාව නම් මරු.සුපිරියටම ලියලා තියෙනවා.පස්සෙ වෙලාවක අර ලොකු හාමුදුරුවන්ට උනේ මොකක්ද කියලත් ඉක්මනට ලියන්න.කැම්පස් ගිය හාමුදුරුනමක් නිසා ශුවර් එකට ජේවීපී කේස් එකක් වෙන්න ඕනා

    ReplyDelete
  36. @ පීසා,
    ආ..එහෙනං කමක් නැහැ, මං හිතුවේ උඹ බැරිවෙලාවත් කබරගලද කියල. මට මතක තිබුනෙ "කබරගල්ල" කියල.
    මම දන්නෙත් ඔය පැත්තෙ බෝගහගොඩ විතරය්. ඉන්දරේගෙ යාළුවො සෙට් එකේ එක පොරක් පිසා ඉන්නව කිව්ව හරියෙ හිටිය, මං ගෙදරටත් ගිහින් තියෙනව, යාළුවා අපිටත් වඩා ටිකක් වයසය්, නම මතකෙ නැහැ.

    @ බුද්ධි,
    කව්ද බං ඔය ශිෂ්‍යාව?......හිකිස්...
    උඹත් මාළු කාරයෙක් ගෙන් ඇණගෙන තියෙනව වගේ, ඕනයගෙන් එහෙම නෙමේනෙ. ඕනය තරහ වෙලාද වත් මන්ද නිකමට කොමෙන්ට් කෑල්ලක් වත් දාල යන්න එන්නැහැ මේ පැත්තෙ.

    @ kandyan,
    මම 89 විතර ලංකාවෙන් පිට වුනේ. 89 මාර්තු වෙනකන් වැඩ කලේ අලව්වෙ, ඒ වුනාට කුරුනෑගල කේන්ද්‍රය කරගෙන තමා ඔක්කොම වඩා කටයුතු. කොළ පාට, ෂෝර්ට් වීල් බේස්, පැජරෝ එකක් තිබුනෙ පියසේන පෙරේරා කියල කුරු /දකුණ ඩිපෝවෙ ඩිපෝ එන්ජිනියර් හිටිය "රේල් පාර දිගේ" පෝස්ට් එකේ "බය්ල පියා" යනුවෙන් සඳහන් වුනු පොරට විතරය්, මං දන්නා එවුන්ගෙන්.

    පිස්සුද කාටවත් මල පනින්නේ නැහැ, මේ වගේ කතා වලින් කී දෙනෙක් නැවත අඳුනගන්නවද? එක පෝස්ට් එකකින් හෙළි වුනානෙ, දුමීගෙ නෑන කෙනෙක් එක්ක ඕනය යාලු වෙලා ඉඳල, කෙල්ලගෙ අම්ම ඕනයට හෙල්මට් එකකින් ගහපු කතාවක්. ඒකෙන් දැනගත්තෙ තව පොඩ්ඩෙන්, ඕනයය් දුමියය් මස්සිනාලා වෙනව කියල, කෙල්ලගෙ අම්ම මැදිහත් නොවුන නං එහෙම...හිකිස්...

    ReplyDelete
  37. හරි, ඔය කියන පොර වෙන්න ඕන...club එකේ යාව ජීව සාමාජිකයෙක්. කුරුණෑගල මගේ ගම නොවුනාට ගමට වැඩිය පොරවල් අඳුනනවා, ඕනම ලෙවල් එකේ පොරවල් එක්ක වල බැහලා තියනවා. හොඳ කතාත් තියනවා. තාමත් ලංකාවට යනකොට airport එකේ ඉඳලා ගම්පලාතට යන්න ඉස්සරවෙලා කුරුණෑගල ගිහින් වල බැහැලා තමයි යන්නේ.

    ReplyDelete
  38. මමනම් ගාලු ගියොත් මාළු ගන්න යන්නේ මගේ සුපිරිම ෆිට් එකක් එක්ක තමා. කළුවැල්ලේ. ඌ වැල්ලේ සෙට් එකම දන්නා හින්ද ඌව තම්බන්න එන්නේ නෑ. ඉතින් උගේ පිහිටෙන් හොඳ මාළු අරගන්න මට පුළුවන්..

    ReplyDelete
  39. @ kandyan,
    කැන්ඩියන් කොය් රටේද ඉන්නෙ? කොමෙන්ට් එකේ හැටියට හිතෙනව ගම් පළාත නුවර කියල, නමත් කැන්ඩියන්නෙ. නුවරත්, කුරුණෑගල නුවර යන පාරෙත් අපේ පරණ යාළුවො ඉන්නව.
    එකෙක් නං උන්ගෙ පරම්පරා නමටම හරියන බිස්නස් එකක් කරන්නෙ , නම "නැදුන්ගේ - බිස්නස් එක "ලී"
    තව එකෙක් තමා කාන්ත සමරසිංහ, තාත්තල කලේ "අප්ලන්ඩ් ස්ටුඩියෝ" කියල එකක් කොටුගොඩැල්ල වීදියෙ, මං හිතන්නෙ දැන් ඒක විකුණල, බේකරි, කිචන්, ඉක්විප්මන්ට් ඉම්පෝර්ට් බිස්නස් එකක් දැන් කරන්නෙ. තව කීප දෙනෙක් ඉන්නව, හැබය් හුඟක් එවුං අපේ ට්‍රේනින් එකම කරල ලංගම වැඩ කරපු එවුං.

    මගේ වයස දැනට 58 පැනල, හිතාගත්තෑකිනෙ එතකොට මං කතාකරන වකවානුව. If you were working in late 80s, you can't be a spring chicken either

    @ ක්සැන්ඩර් | Xander,
    එහෙම නැතුව හොඳ අලුත් මාළු ගන්නව බොරු. ගම්පහ මාළු මාකට් එකේ අදටත් මාළු විකුණනව අපේ මල්ලිත් එක්ක දහම් පාසල් ගිය පොරක්, උගෙන් තමා අපි මාළු ගන්නෙ, පොර ගාව හොඳ බඩු නැත්තන් වෙන වෙළෙන්දෙක්ගෙන් අරන් දෙනව, එහෙමත් නැත්තං , අද සර්ල මස් කන්න කියල ඇහැක් එහෙම ගහල කියනව.
    දානෙකට, මගුල් ගේකට, ලොකුවට ගන්න ඕනෙ නං, මීගමුවේ ඉන්නව පරණ ලංගම අපේ ට්‍රේනින් එකම කරපු යාලුවෙක් උගෙ වයිෆ් ලෙල්ලමේ ඔක්කොමල ටොප් එකට අඳුනනවා, ඒක හින්ද ගොඩ යතෑකි

    ReplyDelete
  40. මාළු අඳුනන්නෙ නැති අපි කොයි කාටත් ඔය සෙතේ තමා ඉතිං...

    ReplyDelete
  41. @ ගීතක,
    සැටිපිකේට් ට්රූ

    ReplyDelete
  42. Rajith Doo,
    ලියන්නන්, ළඟදීම.
    ඇත්තටම ඔයා හිතපු විධියට වඩා හුඟාක් වෙනස් කේස් එකක්.

    ReplyDelete
  43. අනේ මමත් ඔය මාළු අඳුනන්නේ නැහැ නෙව. ඒක නිසා ඔබා මාමේ පරෙස්සමෙන්. මාළු නාඳුනන අපි ඉන්න පැත්තක ගඟක මූදක පීනන්න හිතන්නවත් එපා. ලොකු මාලුවෙක් කියල අල්ලං කන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  44. Observer....
    ඔව්, නුවර තමා....කුරුණෑගල නුවර පාරේ ඩිපෝ එක ලඟ තමයි මගේ වැඩපොල. තාම තියනවා. ඔබා ඉන්න කාලේ ඒක තිබ්බේ නෑ. දැන් ඉන්නෙ උතුරු එංගලන්තයේ. අප්ලන්ඩ්ස් ස්ටුඩියෝ කට්ටිය පුද්ගලිකව දන්නේ නැතිඋනත් හම්බවෙලා තියනවා. ගම්පහ නම් ගම් පලාත ගම්පහ අස්ගිරියේ ඇනිකට් පාරේ කෙළවරේ පදිංචි සීටීබී එකේ වැඩකරපු දන් රිටයර්ඩ් ලේඩි කෙනෙක් සමහර විට දන්නවා ඇති නේද...මුණසිංහ කියලා.
    ලඟදී කුරුණෑගල ගියවෙලාවේ සීටීබී එකේ වැඩකරපු Mr අලවත්ත ගේ පුත්‍රයා මුණගැසුනා. Heard both his parents are no more.
    I am no spring chicken but am still kickin' lol!
    ...in naughty forties...going in the same spirit... no stopping :-)

    ReplyDelete
  45. @ චීටා,
    අපි නං ඉස්සර අනිත් එවුංට ගඟේ මූදෙ නාන්න එපා කියන්නෙ වෙන හේතුවකට.....හික්ස්....අහන්නම ඕනෙද හේතුව? දන්නවනෙ අර මාළු රිංගය් කියන කතාව

    @ kandyan,
    වැඩපොළේ නම කිව්වොත්,නැත්තන් sanathwijewardene@gmail.com
    ලිපිනයට ඊමේල් කලොත් ලබන අප්‍රියෙල් ලංකාවට ගියාම වැඩ හොඳට යනවද කියල චෙක් කරල බලන්නං.

    ඇනිකට් එක නං අපි ඉස්කෝලේ යන කාලේ ෆෙවරිට් ස්පොට්‌ එකක්, ගෙදරට හොරෙන් නාන්න යන.ඇනිකට් පාරෙ යාලුවෙක් ඉන්නවා ලන්ඩන් පැත්තෙ රන්ජන් කියල,මං හිතන්නෙ පොරගෙ ප්‍රය්වෙට් ඉස්පිරිතාලයක් තියෙනව.

    මුණසිංහ කියන නම නං මතකයක් නැහැ.

    Mr අලවත්ත නං දැන් මිය පරලොව ගිහින් ඇති මගෙ හිතේ, අපි කොල්ලො කාලෙත් සෑහෙන වයසක මනුස්සයෙක්. එතන ට්‍රැජඩි එකක් මතක් වෙනව, ඔයා කියන පුතාගෙ අක්ක හෝ නංගි ඒ කාලේ සිය දිවි නසා ගැනීම ගැන. (අපේ යාලුවෙකුගේ ක්‍රියා කලාපෙත්, ඒ පිළිබඳව සමහරවිට ඔයා කියන පුතාගෙ දරදඬු ආකල්පෙත් හේතු වෙන්න ඇති - තරුණ ජීවිතයක් අකාලෙ විනාස වුනා)

    ReplyDelete
  46. wenadaa wageema ela kathawa obaa maama! mm ralua kapala wikunapu maguroo! :D :D :D hikk hikk!

    ReplyDelete
  47. මෙයා මේ හිරේ වැටිලා නොහිටි කතාවක් කියනවා. අපේ ඔබී අක්ක තමයි ජේලර් වෙලා ඉඳල තියෙන්නේ බීල බීල හිරේ වැටුන වෙලාවේ. ඔන්න ජේලර් හාමිනේ එක්ක යාළුවෙලා මෙයා හිරේ ආයිත් ගිහින් තමයි ඔය දැන් ඉන්නේ.. අනේ මන්දා අක්ක කොහොම ඉන්නවද කියල මේ ඩෝප් කාරයා එක්ක. අර හතරපෝයට සිල්ගන්න ඔබී අක්කට වෙනම තෑග්ගක් දෙන්න ඕන මේ බොනපාට් ඔබා එක්ක දීග කනවාට .. හික්... ඒ කලේ විතරක් නෙවි දැනුත් දෙකක් දාල තෝරා වෙනුවට කුම්බලාවෝ අරගෙන ගෙදර එනවලු වැනි වැනී..

    ReplyDelete
  48. ඔබෝ මේක මගේ බ්ලොගේ අප්ඩේට් වෙන්නේ නැතෝ..

    ReplyDelete
  49. ඔබා අයිය "වික පරවු" හෙම ට්‍රයි කලේ නැද්ද ඇඹුල් තියල් දාන්න ????

    ප.ලි.
    ඈ බොල නාකි රිලවො . . . . මට තාම 34යි . . . . බොට කවුද කීවෙ මට 38යි කියල ????

    ReplyDelete
  50. @ මාධව,
    ස්තුතිය් මේ පැත්තේ ගොඩවෙලා කොමෙන්ට් එකක් දාල ගියාට. ඔයාගේ බ්ලොග් එකටත් හදිසියේ වගේ මං ගොඩ වුනා පොස්ට් දෙකක් විතර මට මිස් වෙලා තිබ්බේ, කොමෙන්ට් කලේ නැහැ, කියෝලම කොමෙන්ට් දාන්නම්.

    @ සරත් ලංකාප්‍රිය ,
    දීයාම කාපිය මේ ලංකාඅප්‍රියාවය්, වලත්ත කරෝල ඕනයවය්, බෝ පැළයක් වගේ ඉන්න මට කතා හදනවට.

    මේ පොස්ට් එක, එකම බ්ලොගේකවත් අප්ඩේට් වෙලා නැත. සරත්ගේත් මාසෙකට විතර ඉස්සර පොස්ට් කල වචන වරද්දමින් ලීයූ "කරුණාවයි මයිත්‍රියයි.. (දෙවියෝ සහ මිනිස්සු 2) " පොස්ට් එක තමා මගේ බ්ලොගේත් අන්තිමට අප්ඩේට් වෙලා තියෙන්නෙ.

    @ ඕනයා,
    ඈ....බෝල සිපය්යො, තෝ ලොකු ටෝක් දෙන්නේ බය නැතුව, අතට අහුවෙන මානෙක නැති හින්ද කියල මං දන්නව. මං අප්‍රියෙල් වල එන්න හිතං ඉන්නෙ, හිතුනොත් කරෝල වැඩිය පැත්තෙත් ඇවිල්ල තොට පාඩමක් උගන්නල යනව. තෝ ඔය දැඟලුවට, කරෝල වැඩිය ලංකාවට මහා දුරක් නෙමේ කියල මතක තියා ගං.

    ReplyDelete
  51. ලොල්..මාලු විකුනන උන් තරම් මිනිස්සුන්ව අන්දන්න බෑ කාටවත් මං හිතන්නේ! බේරුවලට අතේ දුරින් ඉන්න නිසා එතනින් දැල ඇදපු ගමන් ෆ්‍රෙශ් පිට ගන්න පුලුවන් අපිට :)

    ReplyDelete
  52. හැබෑට ඉතින් උන්ගෙන් මාළු ඇඹුල් තියල් දාන්න බැරිලුද?

    ReplyDelete
  53. @ සබිත්,
    වැල්ල කිට්ටුව ඉන්න අය‍ට ප්‍රශ්නයක් නැහැ, ලෙල්ලමේ එහෙම අඳුනන අය ඉන්නවනෙ

    @ මරණෙ,
    කිසි අප්සෙට් එකක් නැහැ, ඇඹුල් තියල නියමෙට තිබ්බ. ගෙදර ගෙනල්ල කෑව, තාත්ත නං කිව්ව වගේ මතකය් වැව මාළු රහ ආව කියල, ඒත් මං කතාව කිව්වට පස්සෙ මගෙ හිතේ.

    ReplyDelete
  54. අපේ පහල නාන ලිදෙත් ඉන්නව මගුරො. බලන්න ඔනෙ ලිද ඉහපු දවසක උනුත් මේ වගෙ රැවුල කපනවද කියල. පරන කතා රහයි නේද ඔබයියෙ.

    ReplyDelete
  55. මොනව කියනවද රන්ජො?

    ReplyDelete
  56. ඉස්සර කතා නම් සිරා.... අපොයි ඔබා අයියේ... ඒ කාලේ බීමට වඩා වැඩක් කලේ නැතේයි... ?? හික් හික්... ඔය කිව්වට අමත් ලංකාවට ගියාම බොන එකමයි... එහේ එව්වො බොනව බීමක් අනේ හප්පේ.....

    ගමේ නම කිව්වම කෙල්ලෙක් මතක් උනා

    ReplyDelete
  57. අය උඹට ඒ පැත්තෙ කෙල්ලෙක් සෙට් වෙලා හිටියද?

    ReplyDelete
  58. මම දැන් ඉන්නේ බෝගහගොඩට කලින් තියන ගමේ(පිලාන). මගේ උපන් ගම බෝගහගොඩට එහා ගම(අගුලුගහ). මම බෝගහගොඩ ගැන සැහෙන්න දන්නවා. අපේ ලොකු තාත්ත බින්න බැස්සේ ඒ පැත්තෙන් නිසා. හරියටම පන්සලේ ඉදන් 100-200m වගේ දුරින් ඉන්නේ. පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ සීන් එක මම යන්තම් වගේ අහල තියනවා. ඒ ගැනත් ලියන්න.
    ඔය කියන තැපැල් මහත්තය එහෙම මම යන්තම් දන්නවා. ඔබා කියන හරියේ ගොඩක් දෙනෙක් දැන් ඉන්නෙත් Australia.

    ReplyDelete
  59. @ Benz,
    ඉන්දරේගෙ (ඇත්ත නම නෙමේ-ලඟින් යන නමක්) ගමත් අඟුළුගහ තමා. ඔයාල හිටිය හරියෙම තමා එයාල හිටියෙත්. දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.

    අඟුළුගහ සහ පිලාන කියන ගම වල නම් මතක තිබුනෙ නැහැ කතාව ලියන වෙලාවේ. පිලානෙත් ඉන්දරේගේ සහ මල්ලිගේ යාළුවො හිටිය.

    ReplyDelete
  60. ඉන්දරේගේ surname එක විතානවසම් ද? මටනම් හිතෙන්නෙම ඔය කියන ඉන්දරේ අපේ නෑයෙක් කියලයි. දන්නා කියන අයගෙන් අහල බලන්න ඕන

    දෙවටේ හන්දියේ දැන් නම් මහා බල බෙහෙත් ශාලාව නෑ. හැබැයි අර තැබෑරුම නම් restuarant එකක් වෙලා. එතනම් guest house දෙක තුනක්ම තියනවා. ඉස්සර කට්ටිය පාවෙන්න ගිය තැනට දැන් කොටු පනින්න යනවා .. එකත් මාර වෙනසක් නේද අම්මප ..
    අනිත් එක තමයි southern high way එකේ entrace road එක මාතර පාරට වැටෙන්නෙත් එතනින්මයි.

    ReplyDelete
  61. ඉන්දරේගේ සර් නේම් එකද මොකක්ද මංදා.. මෙන්න මෙහෙමයි නමනං එන්නේ.

    කෝටු පාලලාගේ ගෙදර හීන් අප්පු කෙසඟරත්න මුදියන්සේලාගේ ප්‍රවීන් ඉන්දරනාම

    -හොඳ වෙලාවට මේකේ ඇනෝ කමෙන්ට් දාන්න පුළුවන්.

    ReplyDelete
  62. @ Benz,
    වම් පැත්තෙ කොලම් එකේ අඩියෙම මගෙ බ්ලොග් වලට භාවිතා කරන ඊමේල් ලිපිනය තියෙනව, ඊයක් එවන්න, විස්තර කතාකරන්න පුළුවන්, මගේ ස්කයිප් ලිපිනයත් දෙන්නං

    @ Anonymous,
    මට ඕනෙ එකක් කියන්න, වෙන අයගෙ නං ගාවන්නෙ නැත්තං ලොකු දෙයක්. මං ඕන විහිහිළුවක් කරන්නත්, භාර ගන්නත් රෙඩි.

    ReplyDelete