![]() |
පිංතුරය ගූගල්/ලංකා රේල්වේ ෆෝරම් අනුග්‍රහයෙනි |
මේ යාළුවො හතර දෙනා නැවතිලා හිටපු නවාතැන ගැනත් පොඩි අතුරු කතාවක් තියෙනව. ඒකත් මේ ගමන්ම කියල ඉන්නංකො. මෙයාල නැවතිලා හිටිය බෝඩිමේ අයිතිකාර නෝනට දුවල හතර දෙනෙක් හිටිය. තාත්ත ඒ වෙන කොට මිය පරලොව ගිහින් කාලයක් ගත වෙලා. ගෙදර අයිති නෝනට කට්ටිය නම දාල තිබුනෙ, "මහානාම" කියල, ගෙදර ලොක්ක නිසා වෙන්නැති. එක දුවෙක් තමා කුස්සිය භාරව හිටියෙ, උයන පිහන වැඩ එහෙම, කොටින්ම බත් ලැබුනෙ එයාගෙන් කිව්වැකි, ඒ නිසාද කොහෙද එයා "භද්දිය". එක දුවෙක්ට පොඩි වපරයක් තිබුනලු, ඒ නිසා එයා "වප්ප". තව දුවෙකුට දිග ලස්සන කොණ්ඩයක් තිබිල තියෙනව, එයා "කොණ්ඩඥ්ඥ". බාල දුව පස්සෙ කාලෙක ඔය හතර දෙනාගෙන් බය්ල පියා කියන හුරතල් නාමෙන් හැඳින්වුන එක යාලුවෙක් තම බිරිඳ කර ගත්ත. ඒ බාල දුව ඔය කියන කාලෙ පෝනි ටේල් එකක් දාන්න පුරුදු වෙලා හිටියලු, ඒ නිසා එයාට නම දාල තිබිල තියෙන්නෙ "අස්සජි" කියල. ඔය නම් සැට් එක, වැඩ කරන තැන හැමෝම දැනගෙන හිටියට, බය්ල පියා තමන්ගෙ බිරිඳ සුජාතටත් කියල තියෙන්නෙ, බැඳලත් ටිකක් කල් ගියාට පස්සෙ කියලය් ආරංචි වුනේ.
මේ කට්ටිය නැවතිලා හිටපු බෝඩිම තිබුනෙ බස් පාරක් අයිනෙ වුනාට, බස් එකක් එනකං ඉන්නවට වඩා ලේසියෙන්, රේල් පාරට බැහැල, රේල් පාර දිගේ ටවුමට එන එක ඉක්මන්. ඒ කාලෙ දැන් වගේ තරඟෙට දුවන ප්‍රය්වෙට් බස් තිබුන් නැහැ. ඉතිං බණ්ඩාර, බණ්ඩාරවෙලින් පිටත් වෙලා කුරුණෑගල එන දවස උදා වුනා. එදා යාළුවො ටිකත් බණ්ඩාරගෙ අඩුම කුඩුම ටිකත් අරන්, රේල් පාර දිගේ එන්න පිටත් වුනා ටවුමට, කොළඹ යන බස් එකක් අල්ල ගන්න හිතාගෙන. ඇඳුන් එහෙම දාගත්තු ටිකක් විතර ලොකු සුට්කේස් එක තිබිල තියෙන්නෙ බණ්ඩාරගෙ අතේ.
රේල් පාර දිගේ ටිකක් දුර එනකොට, රේල් පාර අයිනෙ ගෙදරක ඉඳල ලස්සන ගෑල්ලමයෙක් දුවගෙන ආවලු රේල් පාරට, බණ්ඩාරව බදාගෙන අඬන්න පටන් ගත්තලු වැලහින්න වගෙ, "අනේ රත්තරන් ඔයා මට නොකියම යන්න යනව නේද, මෙහෙම මාව තනි කරල යන්ඩ දුක නැද්ද, ලබන මාසේ අපි බඳින්න නේද හිටියෙ" අරවද මේවද ලෝකෙ නැති ඒවා කිය කිය. යාලුවන්ටත් ෆුල් හොල්මන්ලු වැඩේට, වෙන මොනවත් හින්ද නෙමේ, බණ්ඩාරය උන්ටත් හොරෙන් කොහොමද මේ සිරා ලව් සීන් එක ගෙනිච්චෙ කියල.
ඒ අස්සෙ කෙල්ලගෙ ගෙදර ඉඳං තව ගැන්සියක්ම දුවගෙන එනවලු රේල් පාරට, කෙල්ලගෙ අම්ම,තාත්ත, අය්යල ,මල්ලිල, අක්කල නංගිල කියල හිතන්න පුළුවන් සෙට් එකක්. බය්ල පියා කිව්වෙ, ඌ නං හිතාගත්තෙ බඩු බනිස් තමා, අංබානකට කන්න වෙනව මේ බණ්ඩාරයගෙ වැඩ හින්ද කියල.
අර දුවගෙන ආපු කෂ්ටිය කෙල්ලව ඇදගෙන ගියාලු ගෙදර. කෙල්ලගෙ අය්ය කෙනෙක් මුන් සෙට් එකෙන් සමාව ඉල්ලුවලු, " අනේ මහත්තුරු සමා වෙන්න ඕනෙ අපිට, නංගිගෙ පෙති ඉවර වෙලා" කියල.
