ඔබී කරන සමාජ සේවාවන් අතුරෙන් එකක්, නාකි ඔබීටයි මටයි, දුව පුතා, කියන වයසෙ කීප දෙනෙකුට සිල් ගන්න පන්සලට යන්න ට්‍රාන්ස්පෝට් සපයන එක. කව්රුවත් නැති වෙලාවෙ, ඔබා බ්ලොගක් කියෝගෙන සන්තෝශෙන් ඉන්න අතරෙ පහුගිය සෙනසුරාද ඔබී සිල් මුදවල ගෙදර ආවෙ, අර කිව්ව ඇන්ටි කෙනෙක් සහ අපේ කතා නායක මනෝජ් සමග.
තමන්ගේ මුළු සබ්බ සකලමනාවම, තඩි 'බැක් පැක් ' බෑග් එකක අහුරල කරේ එල්ලගෙන යන දේශ සංචාරකයො ඔයාල දැකල ඇතිනෙ. ඒ වගේ සංචාරකයො බොහොම අඩු වියදමින්, තමන් යන රටවල කුලී වැඩ වගේ පොඩි රස්සාවල් හෙම කරමින් තමන්ගෙ දේශාඨන වල යෙදෙන්නෙ. 'බැක් පැකින් ටුවරිස්ට් ' කට්ටියට තරු හෝටල් වල නවතින්න තරං සල්ලි නෑ. [සල්ලි තිබුනත්, මේ අත්දැකීම් ලබා ගන්නම බැක් පැකර්ස් හැටියට සංචාරය කරන අයත් ඉන්නවලු] එහෙම ටුවරිස්ට්ලට නවතින්න හුඟාක් රටවල 'බැක් පැකර්ස් හොස්ටල් ' කියල නවාතැන් පොළවල් වර්ගයක් තියෙනව. ඒවයෙ සමහර වෙලාවට කාමර හෝ විශාල ශාලා වල නිදාගන්න පහසුකම්, පොදු වැසිකිලි, පොදු නාන කාමර, පොදු රුපවාහිනී එහෙම තියෙන්නෙ. හැබැයි අය කරන මුදල හුඟාක් අඩුයි. පළමු වතාවට පර්ත් ආව මනෝජ්, පර්ත් නගර මධ්‍යයට කි.මී. දෙකක් වගේ දුරකින් 'ක්ලේස්බ්රූක් ' කියන හරියෙ තියෙන බැක් පැකර්ස් හොස්ටල් එකක් තමන්ගෙ තාවකාලික නවාතැන හැටියට තෝරගෙන තියෙන්නෙ.
නවාතැනක් හොයා ගත්ත මනෝජ්ට, තමන්ගෙ ක්ෂේස්ත්‍රයෙ රැකියාවක් හොයා ගන්නත් ගතවුනේ දින කීපයයි. රැකියාව නිසා ස්තිර නවාතැනක් හොයා ගන්න එක සති අන්තෙට කල්දාන්න සිද්ධ වූනා. මනෝජ් රැකියාවට ගිය පළවෙනි සතියෙම ' ඕස්ට්‍රේලියා ඩේ ' කියල ජාතික නිමාඩු දිනයක් යෙදුන.
'ඕස්ට්‍රේලියා ඩේ' කියන්නෙ, ඒ කාලෙ 'නිව් හොලන්ඩ්' නැත්තං 'නව ඕලන්දය' නමින් හැඳින්වුන ඔස්ට්‍රේලියාවට, එංගලන්තෙ ' ෆස්ට් ෆ්ලීට් ' කියන නැව් 11 කින් යුක්ත නැව් සමුහයක් 1780 ගණන් වල නිලධාරීන් හිර කාරයෝ, ඇතුළු පිරිසක් රැගෙන ගොඩ බැස්ස දවස සැමරීම සඳහා වෙන්වුන දිනය.
[ලින්ක් වලින් ගිහිං, ඉතිහාසෙ ගැන උනන්දුවක් තියෙන අයට විස්තර කියවල බැලියෑකි] ජනවාරි 26 වෙනිදට යෙදෙන 'ඕස්ට්‍රේලියා ඩේ' එකට ඕස්ට්‍රේලියාවෙ හැම ප්‍රධාන වගේම උප නගරෙම අලංකාර ගිනිකෙළි සංදර්ශන පැවැත්වෙනව.
සමහර ඕස්ට්‍රේලියන් ගෑල්ලමයි ගිනිකෙළි බලන්න එන්නෙ මෙන්න මේ විධියට.
ජනවාරි 26 වෙනිද රෑ 8.30 ට පර්ත් නගරෙ පැවැත්වෙන ගිනිකෙළි සංදර්ශනේ මල් වෙඩි අහසට යවන්නෙ, 'ස්වෝන් ගඟේ ' ඒ සඳහාම එදාට නැංගුරම් දාල තියෙන පාරු විශේෂයක ඉඳල. එදාට ගඟ ඉවුරෙ තියෙන 'එස්ප්ලනාඩ්' කියන විශාල පිට්ටනියෙ, කඳු මුදුනක පිහිටල තියෙන 'කින්ස් පාක්' උද්‍යානෙ ඒ වගේම 'සවුත් පර්ත් ෆෝ ශෝ' කියන ස්ථාන වල සෙනග පිරෙන්නෙ මධ්‍යාන කාලෙ ඉඳල. නිමාඩු දවසෙ අපේ කථා නායකයත් මල් වෙඩි බැලුවලු 'එස්ප්ලනාඩ්' පිට්ටනියෙ ඉඳල. මල් වෙඩි නරඹද්දි මිතුරු වුන ඕස්ට්‍රේලියන් ජාතිකයො කීප දෙනෙක් එක්ක කථා බහ කරමිනුත් හිටියලු. එයාල දුන්නු බියර් ස්ටබියකුත් බිව්වලු. ඇහැරුනේ පහුවෙනිද උදේලු. ඇහැරෙනකොට හිස් මුදල් පසුම්බිය ඇඟට යට වෙලා තිබුනලු.
සමහර ඕස්ට්‍රේලියන් ගෑල්ලමයි ගිනිකෙළි බලන්න එන්නෙ මෙන්න මේ විධියට.
ජනවාරි 26 වෙනිද රෑ 8.30 ට පර්ත් නගරෙ පැවැත්වෙන ගිනිකෙළි සංදර්ශනේ මල් වෙඩි අහසට යවන්නෙ, 'ස්වෝන් ගඟේ ' ඒ සඳහාම එදාට නැංගුරම් දාල තියෙන පාරු විශේෂයක ඉඳල. එදාට ගඟ ඉවුරෙ තියෙන 'එස්ප්ලනාඩ්' කියන විශාල පිට්ටනියෙ, කඳු මුදුනක පිහිටල තියෙන 'කින්ස් පාක්' උද්‍යානෙ ඒ වගේම 'සවුත් පර්ත් ෆෝ ශෝ' කියන ස්ථාන වල සෙනග පිරෙන්නෙ මධ්‍යාන කාලෙ ඉඳල. නිමාඩු දවසෙ අපේ කථා නායකයත් මල් වෙඩි බැලුවලු 'එස්ප්ලනාඩ්' පිට්ටනියෙ ඉඳල. මල් වෙඩි නරඹද්දි මිතුරු වුන ඕස්ට්‍රේලියන් ජාතිකයො කීප දෙනෙක් එක්ක කථා බහ කරමිනුත් හිටියලු. එයාල දුන්නු බියර් ස්ටබියකුත් බිව්වලු. ඇහැරුනේ පහුවෙනිද උදේලු. ඇහැරෙනකොට හිස් මුදල් පසුම්බිය ඇඟට යට වෙලා තිබුනලු.
මනෝජ් පොලිසියට ගිහිං පැමිණිල්ලකුත් දාල, හොස්ටල් එකේ මැනේජර්ටත් වෙච්ච දේ කියල එදා වැඩට ගියාලු. මනෝජ් කියන විදියට මැනේජර්ට එයා පොරොන්දු වුනාලු, ඊළඟ සිකුරාද පඩි ලැබුනම හිඟ මුදලුත් එක්ක ගාස්තු ගෙවන්න. මනෝජ් නවාතැන් ගාස්තු ගෙවල තිබිල තියෙන්නෙ, පහුවුන අඟහරුවාදා වෙනකම් විතරයි. බදාද වැඩ ඇරිල එනකොට මැනේජර් හිටියේ නැතිලු. බ්‍රහස්පතින්දා මල් වෙඩි බලන්න යන්න ඉස්සෙල්ල මුදල් ගෙවන්න බලනකොටත් මැනේජර් ඉඳල නෑ.
මනෝජ් සිකුරාද වැඩ ඇරිල එනකොට, කාමරේ තිබිච්ච බෑග් සහ අනෙත් අඩුම කුඩුම එලියට දාල ක්ලීනර්ල දෙන්නෙක් කාමරේ ක්ලීන් කරනවලු. එදා ඩියුටි හිටියෙ වෙනස් මැනේජර් කෙනෙක්ලු. එයා කිව්වලු දවස් තුනකින් ගාස්තු ගෙවල නැති නිසා, ඒක තමා නීතිය කියල. මනෝජ් පොලිසියට කතා කරනව කිව්වම, මනේජර්ම කථා කරලා පොලිසියෙන් ගෙන්නුවලු. පොලිසියෙන් ආපු දෙන්නත් මනෝජ්ට කියල තියෙන්නෙ කරන්න දෙයක් නෑ, ගාස්තු ගෙවල නැත්තං කියල.
මනෝජ් එදා රෑ එළි වෙනකම් ගත කරල තියෙන්නෙ, පර්ත් නගරෙ බැංකුවක් උඩ. නිදා ගත්තෙ නැතිලු, නින්ද ගියොත් බෑග් දෙක නැතිවෙයි කියල. අතේ සල්ලි නැති වෙලාවෙ ඇඳුම් ටිකත් නැති වුනොත් ගොනා ඇන්න මනුස්සය ගහෙන් වැටුනටත් වඩා හපන් වෙනවනෙ.
අඳුනන කව්රුවත් නැතුව, අතේ සල්ලිත් නැතුව, පර්ත් නගරෙ අතරමං වුන මනෝජ්ට හම්බ වෙලා තියෙනව, පර්ත් දුම්රිය ස්ථානයේ වැඩ කරමින් සිටි ලාංකිකයෙක්. ඩියුටි වෙලාවෙ එයාට ඊට වඩා උදව්වක් කරන්න නොහැකි නිසාද කොහෙද, එයා මනෝජ්ට පැය 24 ටිකට් එකක් [දුම්රියට හා බස් වලට වලන්ගු] අරන් දීල පර්ත් පන්සලට යන්න පාර කියල දුන්නලු. 'කෙන්වික්' දුම්රිය ස්තානෙන් බැස්ස මනෝජ්, බෑග් අතිං කටිං එල්ලගෙන, පාරත් වරද්දගෙන පන්සලට එනකොට සෑහෙන්න හවස් වෙලා. එදා උෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් 40 පැනල මට මතක විධියට. පන්සලේ මොනවා හරි දේකට ඇවිල්ල හිටිය දෙන්නෙක්, මනෝජ්ට මුදල් වගයක් දීල තියෙනව. පන්සලේ ස්වාමීන් වහන්සේ මනෝජ්ට කියල තියෙනව, පන්සල් කොමිටියෙ අවසරයක් නැතුව නවාතැන් දෙන්න නං විධියක් නැහැ කියල. ඒ වෙලාවෙ තමා සිල් පවාරනේ කරල, ආන්ටි කෙනෙක් එක්ක පන්සලේ ඉඳල ගෙදර එන්න එන ඔබීට මනෝජ් මුණ ගැහුනෙ.
මම මොනවා කියයිද දන්නෙ නැති වුනත්, අර ආන්ටිවයි, මනෝජ්වයි, මනෝජ්ගේ බෑග් ටිකයි කාර් එකේ දාගත්ත ඔබී කෙලින්ම ගෙදර ආව. [ඔබී පස්සෙ කිව්ව, ආන්ටිව ඉස්සෙල්ල එයාගෙ ගෙදරින් බස්සන්නෙ නැතිව ආවෙ, ආන්ටි ඉන්න තැන, මට ඔබීට දොස් කියන්න බැරි හින්දලු, පේනව නේද ගෑණුන්ගෙ කපටි කම්] ඔබීයි, ආන්ටියි, විස්තරේ කියන වෙලාවෙ නං මට එක පාරටම හිතුනෙ, මේ දෙන්න මොන ලෙඩක්ද මේ ගෙදර ගෙනාවෙ කියල. එත් ඉතින් මනෝජ්ගෙන් හරස් ප්‍රශ්න ටිකකුත් එක්ක විස්තරේ ඇහුවම මටත් පව් කියල හිතුන.
මනෝජ්ගෙ ඉල්ලීම, සඳුදට වැඩට ගිහින් එයාගෙ බොස් එක්ක කතාකරල නවතින්න තැනක් හොයා ගන්නකන් සඳුද උදේ වෙනකම් නවාතැන් දෙන්න කියල. ප්‍රශ්නේ වුනේ, ඉරිද දවස පුරාම අපි දෙන්නම ගෙදර නැති එක. කවදාවත් දැකල නැති කෙනෙක්ව ගෙදර තියල අපි දෙන්න කොහොමද ගෙදරින් පිට වෙන්නෙ. ඒකට කරන්න පුළුවන් එකම දේ හැටියට මං කරපු යෝජනාව මනෝජ් කැමැත්තෙන්ම භාර ගත්ත.
මං කරපු යෝජනාව, මනෝජ් අපි එක්කම උදේට ගෙදරින් පිට වෙන්න ඕනේ. යන තුත්තුකුඩියක ගිහින් හවසට කෝච්චියට නැගල මට කෝල් එකක් දෙන්න. මම ස්ටේෂන් එකට ඇවිත් මනෝජ්ව පික් කරන්නං කියල. එහෙම කථා කරගෙන ඔබී ගියා අර ආන්ටිව බස්සල එන්න. ඔබී ඇවිල්ල රෑට උයල කන්න දෙනකං කියල, මම මනෝජ්ට ගෙදර තිබුන විස්කෝතු කන්න දීල, ලොකු කිරි තේ එකක් හදල දුන්න. නාල එහෙම ඇඳුම් මාරු කර ගත්ත මනෝජ්ට රෑට කන්න බෑ, නිදාගත්තොත් හොඳා කියල කිව්ව. මිනිහ කිව්වෙ කලින් රාත්‍රියෙ නිදා නොගත් නිසාත් දවස පුරාම අව්වෙ ඇවිද්ද නිසාත් බඩගින්නට වඩා තියෙන්නෙ නිදිමත කියල. ඉතින් අපි මිනිහට නිදා ගන්න කාමරයක් දුන්න.
ඉරිද හීල් දානය දෙන්න තිබුනෙ අපිට. ඔබී උදේම නැගිටලා හීල් දානෙට ආප්ප හැදුව. ආප්ප කාපු මනෝජ් කිව්ව, ඔස්ට්‍රේලියාවෙ ගත කල අවුරුදු දහයටම ආප්ප කෑවෙ, දෙවතාවයි කියල. මනෝජ්ට මුදල් ටිකකුත් දීල, පැය 24 ටිකට් එකකුත් අරන් දීල කෝච්චියට නැග්ගුව. හවස මනෝජ් ආවෙ ලොකු හදිස්සියකින්. මිනිහ වැඩ කරන තැන කිට්ටුව ඇවිදල නවතින්න තැනකුත් හොයාගෙන ඇවිල්ල තිබුනෙ. අපි වගේ වයසක පකිස්තානු ජෝඩුවක් මුණ ගැහිල මනෝජ්ට. එයාලගෙ ගෙදර පිටතින් තියෙන කාමරය කුලියට අරන් හිටපු කෙනා වෙන තැනකට ගිහින්, ඒ කාමරේ මනෝජ්ට දෙන්නං කියල. මනෝජ් එදා රෑම ආයෙත් කෝච්චියට නැග්ගුව, අලුත් නවාතැනට යන්න.
'නිමි'

