My followers

Friday 30 September 2011

"බුරා" ගේ පියාණන්ට නිවන් සුව පතමු...!!!

අන්තිම පේලියේ  කතා පබ්ලිෂ් කරන්නෙකු සහ සිංහල බ්ලොග් වල කොමෙන්ට් කරුවෙකු වන "බුරතෙනෝ" ගේ පියාණන් පරලෝ සැපත් වී ඇති බව රන්දිල් ගේ බ්ලොග් අඩවියේ    "මා කිසිදින ඔබ නුදුටුවද ඒ කම් නැත...මගේ පියාණනි"  මාතෘකාවෙන් යුතු පෝස්ට් එකකින් දැනුම් දී ඇත.

"බුරාගේ පියාණන්ට නිවන් සුව පතමු."


Wednesday 28 September 2011

'තෝර බලයි'


මගෙ අතිජාත මිත්‍රයෙක් ඉන්දරේ.අපි දෙන්න අඳුනන්නෙ හැත්තෑ ගණන් වල මුල හරියෙ විතර ඉඳල. අපි දෙන්නම එකම ආයතනේ පුහුණු වෙලා ලංගම සේවෙට බැඳුනෙ. ඉන්දරේ මට වඩා අවරුදු දෙකක් විතර සීනියර් බැච් එහෙක. සෑහෙන කාලයක් අපි දෙන්න කුරුණෑගල ලංගම ප්‍රාදේශීය වැඩපොළේ එකට වැඩ කළා. ඉන්දරේ, ඉස්ටෝරුවක් වගේ එහෙකට හදල, ඒත් තාම  විවෘත කරල තිබුන් නැති අලුත්ම බිල්ඩිමක, උඩ තට්ටුවෙ කුලියට දෙන්න හදල තිබුන, කාමර කීපෙකින් එකක්, යාලුවෙකුත් එක්ක කුලියට අරන්, ඒකෙ පදිංචි වෙලා හිටියෙ, ඔය කාලෙ. එතන උයා පිහා ගන්නත් පහසුකන් තිබුන. ටිකක් වැඩි වෙන එවුන්ට එතනම වැටිල නිදාගෙන, පහුවෙනිදා නාගෙන එහෙම වැඩට යන්නත් පුළුවන් හින්ද අපේ සෙට් ඒක ඒ කාලෙ නිතරම බෝතල් වලට සැට් වෙන තැනක්, ඉන්දරේගෙ කාමරේ. හරියට ගුනේ  අය්යගෙ බජව් දාන කාමරෙ වගේ.

ලංගම වුනාට, අපි වැඩ කොරපු තැනින් බස් ධාවනයක් සිද්ධ වුනේ නැහැ. බස්, එන්ජින්, චැසි, ගියර් පෙට්ටි, අනං මනං සම්පුර්ණ අලුත්වැඩියාව විතරය්. ඒ නිසා සිංහල අවරුදු, වෙසක්, නත්තල්, වගේ කාලෙට නිමාඩු ගන්න එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නැහැ. කුරුණෑගලම ටික දෙනා ඇරෙන්න, අව්රුදු කාලෙ එහෙම වෙනකොට පිටිං ඇවිල්ල බෝර්ඩ් වෙලා වැඩ කොරපු, අපේ සෙට් එකම සුමානයක් විතර නිමාඩු දාල ගං රටවල් වලට යනව. එක අවරුදු නිමාඩුවක ඉන්දරෙය් මාය් සෙට් වුනා උන්ගෙ ගමේ යන්න. ඉන්දරේගෙ රූම රත්නපුරේ, ඌ ගියා උන්ගෙ ගමේ. අපි දෙන්න ගම්පහ අපේ ගෙදරත් ගිහින්, අම්ම තාත්තගෙනුත් අවසර අරං ගියා ගාලු.  ආ....කියන්න බැරි වුනානෙ, එතකොට අපි එකෙක්වත් හිරේ විලංගුවෙ වැටිල හිටියෙ නැහැ, ෆුල් නිදැල්ලෙ.

ඉන්දරේලගේ ගම, ගාල්ලෙන් මාතර පාරේ ටිකක් දුර ගියාම හම්බවෙන, "දෙවැටහන්දිය" කියන තැනින් වමට හැරිල යන පාරෙ.( මීගමුවෙ "නාසානන්ද " තෞලය වගේම දකුණු පළාතෙ ප්‍රසිද්ධ වෙලා තිබ්බ "මහා බල" තෞලය නිෂ්පාදනය කරන මහා බල වෙද මහත්තයගෙ බෙහෙත් සාලාව ඒ කාලෙ තිබ්බෙත් දෙවැට හංදියෙ) මට මතක විධියට ඒ පාර යන්නෙ දෙණියාය පැත්තට. ගමේ නම බෝගහගොඩ. බෝගහගොඩ හන්දියෙන් බැස්සම, කබරගල්ලට යන පාරෙ පන්සල එහෙම පහු කරල මීටර් තුන්, හාර, සීයය්  ඉන්දරේලගෙ ගෙදෙට්ටම. ඉන්දරේට හිටිය ගමේ නියම යාළුවො සෙට් එකක්. එක්කෙනෙක් තමා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. ලොකු හාමුදුරුවෝ කිව්වට, අපිට වඩා ඕන්නං අව්රුද්දක් දෙකක් වැඩිමල් ඇති, ඒ කියන්නෙ ඒ කාලෙ හාමුදුරුවන්ගෙ වයස අවරුදු 25 ක් විතර වෙන්නැති. හිටපු ලොකු හාමුදුරුවො අපවත් වුනාට පස්සෙ, ජ්‍යෙෂ්ටම ගෝල නම හැටියට පන්සලේ භාරකාරත්වය හිමි වෙලා. විශ්ව විද්‍යාලෙන් පිට වෙලත් වැඩි කාලයක් නැහැ එතකොට, ළඟ රජයේ පාසලක ඉගැන්නුව වගේ තමා මට මතක. ඉන්දරේ කිව්ව විධියට, ගමේ තරුණ පිරිස පන්සලට හුඟාක් හිතවත් දායක පිරිසක් වෙන්න හේතු වුනේ, මේ තරුණ ලොකු හාමුදුරුවො. පසු කාලෙක ඉතාම අවාසනාවන්ත ලෙස මිනීමැරුමකට ගොදුරු වුනා, තරුණ කාලෙම. (වෙනම පෝස්ට් එකකින් ඒ කතාව කියන්නම්)

ඉන්දරේගෙ අනිත් ගමේ යාළුවො සෙට් එකත් නියම භාණ්ඩ ටිකක්. ඒ සෙට් එකේ හිටිය තැපැල් මහත්තයෙක් එහෙමත්.  තව හිටිය, හිටි ගමන්, එක එක පොඩි කේස් වලට, පොලිසියෙන් හොයන පොරක්. මෑන් එක පාරක් වල් ෆැන්ට පොට් එකක හරි, බූරුව පොළක හරි ඉඳල පොලිසියෙන් පැන්නම, දුවල හැංගිලා තියෙන්නෙ, වියන්න මඩේ දාල තිබිල ගොඩට ඇදපු, පොල් අතු වගයක් යට. පොලිසියෙන් ටෝච් ගගහ සෑහෙන වෙලාවක් හොයල ගියාට පස්සෙත්, හුඟ වෙලා ඉඳල තමා, එලියට ඇවිල්ල තියෙන්නෙ. තලන්න විධියකුත් නැතුව ඉන්දැද්දි, මදුරුවො කාපු සැප එහෙම, රහ කරල කියන්නෙ. තව ඉන්දරේට හිටිය මාමල, බාප්පල, ළඟ නෑදෑයො සැට් එකක්. ආශ්‍රය මචං නොකිව්වට, මචං ලෙවල් එකෙන්. මොකද කට්ටිය ඉන්දරේට වැඩිය ටිකය් වැඩිමල්. කොහොමත් ඉන්දරේ ගමේ යනකොට ගාල්ලේ සිඩ්නි එකත් වන්දනා කරල, තව බෝතල් දෙක තුනකුත් අරං එන බව දන්න හින්ද හාමුදුරුවො ඇරෙන්න අනිත් කට්ටිය ඔක්කොම ඉන්දරේලගෙ ගෙදරට සෙට් වෙනව අනිවාර්යෙන්ම, ඉන්දරේ ගමේ ආව කියල ආරංචි වුනාම.

අව්රුදු දවස් කීපය ඉන්දරේගෙ යාලුවොත් එක්ක ෆුල් සොමියක් දැම්ම. පන්සලටත් කීප වතාවක් ගිහින් හාමුදුරුවොත් එක්කත් කථා බහ කළා. ඉන්දරේලගෙ තාත්ත දෙණියාය පැත්තෙන් එන ලොරියකට ඕඩරේ දීල තිබුනෙ, මං ආපහු යනකොට ගෙනියන්න හොඳම එකෙන් කිරි හට්ටි දෙක තුනකට.  බයිට් එකට එහෙමත් අනුභව කරල, ඉන්දරේලගෙ අම්ම, බාලම්ම, එහෙම හදන මාළු ඇඹුල් තියල් මට රහ වැටිල තිබුනෙ. හෙට ආපහු යන්නෙ කියල කියන දවසෙ, ඉන්දරෙය් මාය් ගියා, දෙවැට හන්දියට මාළු ගේන්න. මාළු මට ගෙදර ගෙනියන්න ඇඹුල් තියල් හට්ටියක් හදාගන්න.

දෙවැට හන්දියෙන් මීටර් සීයක් විතර මාතර පැත්තට යනකොට ඒ කාලෙ තිබුන පරණ තාලෙ තැබෑරුමක්. එතන පුටු මේස නැහැ, බයිට් ඕනෙ නම් එළියෙ හිටිය කඩල, වඩේ, එහෙම විකුණන පොරක්. එහෙමත් නැත්තන් කවුන්ටරේ උඩ තිබුන පොල් කට්ටක දාල ලුනු කැට ටිකක්. ෂැන්ඩියට කෝක්, සෝඩා අනං මනං ඇත්තෙත් නැහැ එතන. ඒ කාලෙ ගල් වලට කිව්වේ "මොලැසස්" එහෙම නැත්තන් "දාම් කොටුව" කියල. මොකද ලේබලේ ගහල තියෙන්නෙ ගල්ඔය සීනි සංස්ථා ඉස්කාගාරයේ නිෂ්පාදිත "මොලැසස්" අරක්කු කියල. ලේබල් එක දාම් බෝර්ඩ් එකක් වගේ කළු සුදු කොටු. තැබෑරුමේ පොල් අරක්කුත් තිබුනද මන්ද, අපි දෙන්න පානය කළේ නං "දාම් කොටුව" කියල මතකය්.

අපි දෙන්න දෙවැට හන්දියෙන් බස් එකෙන් බැස්ස ගමන් කළේ ඉස්සෙල්ලම තැබෑරුම වන්දනා කර ගත්තු එක. ඊට පස්සෙ ගියා මාළු ලෑලි තියෙන ඉසව්වට. එතකොට තමා තේරුනේ, මාළු ගන්න දවස හරි නැහැ කියල. අව්රුදු දවස් හින්ද හුඟක් ඔරු කාරයො ටිකේම මූදු ගිහින් නැහැ. තිබ්බ මාළු අස්ප ගණන්. පොඩ්ඩක් කැරකිලා බලනකොට, එක මාළු කාරයෙක්ගෙ ගාන හෙන සාධාරනය්, පොර කෑ ගහන්නෙත් දැන් ගොඩ දාපුව කියල, මාළු ගැන අපි දෙන්නට එච්චර තේරුමක් නැතත්, බැලූ බැල්මට බඩු අලුත් වගේ පෙනුනෙ. එච්චර ලොකු මාළු නෙමේ, වැඩිම වුනොත් අඟල් 10 -12 ක් දිග තියෙන්න ඇති. මාළුන්ගෙ ජාතිය දන්නෙත් නැති හින්ද මාළු කාරයන්ගෙන්ම ඇහුව මොක්කුන්ද මේ කියල, පොර කියාපි, ගණන් කියල කෑ ගහන ගමන්ම "තෝරබලය් මහත්තය තෝරබලය්" කියල. ජීවිතේට අහල නැති මාළු ජාතියක් හන්ද පොරගෙන්ම ඇහුව ඇඹුල් තියල් දාන්න මුන් හොඳද කියල. තාම කෑ ගහන ගමන්ම ආයෙත් පොර කිව්ව "ඇඹුල් තියලට නියම භාණ්ඩේ.......ඇඹුල් තියලට නියම භාණ්ඩේ" කියල. ඉන්දරෙය් මාය් "තෝරබලය්" අරං ගෙදර ගියා.

ඉන්දරේගෙ අම්මය්, බාලම්මය්, දෙන්නම මාළු බලල කිව්වෙ, දැකල පුරුදු මාළු ජාතියක් නෙවි කියල. අපි දෙන්නම ඇහැව්වෙ මාළු නරක් වෙලාද කියල. අම්මගෙය්, බාලම්මගෙය්, ඒකමතික තීන්දුව අලුත්ම, අලුත් මාළු කියල. අපි දෙන්නම හෙන සැටිස්. වැඩිය පළපුරුද්දක් නොතිබුනත් කුණු මාළු වලට අහු වෙලා නැහැනේ කියල. දැන් අම්මල කුස්සියට ගෙනිහින් මාළු කපන ගමන් අපිට පොඩි දැනමුතු කමකුත් දුන්න, ඇඹුල් තියල් වලට ගන්නෙ ලොකු මාළු, එහෙම ආදී වශයෙන්. ඉන්දරෙය් , මාය්, කුස්සියේම ඉඳගෙන වැඩේ සුපවයිස් කොරනව. ඔයව් අස්සෙ කුස්සියට ආව ඉන්දරේගෙ හිච්චි බාප්පා. "උඹල දෙන්න කොහෙද මක බෑවිලා හිටියෙ උදේ වරුවම" අනං මනං ප්‍රශ්න ගොඩය්. පොරට අපේ මල් පැණි සුවඳ දැනිල ඊරිසියාවෙද කොහෙද. ඒ අස්සෙ අහනව මාළු හොදි හදන්නද, බදින්නද, පොරට තේරෙන්න ඇති අපි බෝතලේකුත් ගෙනල්ල කියල, දැන් බයිට් මතක් වෙලාද කොහෙද.  ඉන්දරේලගෙ අම්ම කිව්ව "මේ ඔබා පුතාට ගෙදර ගෙනියන්ඩ ඇඹුල් තියල් හදන්න" බාප්ප හෙන ෂොක් එකක් වැදුන වගේ අපි දිහා බලල "කව්ද බන් මේ මාළු ගෙනාවෙ" ඇහුව. ඉන්දරෙත් වීරයා වගේ "අපි" කිව්ව.

ඉන්දරේගෙ බාප්ප හැක...හැක... ගාල කැත හිනාවක් දාල කියපි "තොපි වගේ හරක් දෙන්නෙක්, මුං වැව් මාළු, මගුරො කියල ජාතියක්, තොපිට දීල තියෙන්නෙ  මුංගෙ රැවුල් ගස් කපල" කියල.